Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ජනපති ප්‍රේමදාසගේ භස්මාවශේෂ කඳු මුදුනක තැන්පත් කර අදටත් වඳින ගම්මානය



මෙරට බොහෝ ජන නායකයන් ජීවත්ව සිටියදී පමණක් නොව මරණයෙන් පසුවද සැතපෙන්නේ සුපිරි සුසාන භූමි තුළය. එසේත් නැත්තම් වලව්වත්තේ කොටසකය.
ඉපදුණු දා සිට තමන්ටම ආවේණික ක්‍රමයකට දිවි පෙවෙත සකසා ගත් රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා තම මරණයෙන් පසුව ඉතිරි වන අළු ටික වළ දැමීම සඳහාද අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත ජීවත්ව සිටියදී දක්වා සිටි වග හා ඒ අළු ප්‍රේමදාස මහතාගේම ඉල්ලීම මත අෑත කඳු මුදුනක තැන්පත් කර ඇති වග දන්නේ කීයෙන් කීදෙනාද?
පසුගිය දිනෙක අප මේ ඉසව්ව සොයා ගියෙමු.
සුදු බණ්ඩා වෙද මහතා යූ.එන්.පි.යේ අතීතය ගැන උජාරුවෙන් යුතුව කතා කරමින් ගමන් කරන්නේ උස් කඳු මුදුනක් වෙතටය.
“ප්‍රේමදාස මහත්තයව අපිට කවදාවත් අමතක කරන්න බැහැ මහත්තයෝ…… අද මේ ගමේ මිනිස්සු පක්ෂ භේදයකින් තොරව එතුමන්ට ගරු කරනවා. වාසනා ගමේ අපි කාටවත් අතපාන්නේ නැතිව අද ජීවත් වෙන්නේ එතුමන්ට පින් සිදු වෙන්නයි..” සුදු බණ්ඩා වෙද මහතා මඳක් නැවතී යළිත් කීවේ හදවතින්මය.
අපි මේ සැරසෙන්නේ ඔබ නොදන්නා කතාවක ඉතිහාසය කියන්නටය. එය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ භස්මාවශේෂවලට සම්බන්ධ අපූරු කතාවකි.
“ලංකාවේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ ප්‍රේමදාස මහත්තයාගේ භස්මාවශේෂ තැන්පත් කරලා තිබෙන්නේ මේ “වාසනා ගමේ” කියලා. මහත්තයලා මේක මුළු රටටම කියන්න. එතුමා මේ ගමට හුඟාක් ආදරේ කළ නිසයි එහෙම වුණේ කියල… එතුමා විශේෂ ඉල්ලීමක් කළා මිය ගිය දවසට එතුමාගේ භස්මාවශේෂ මේ ගමේ තැන්පත් කරන්න කියලා. ඒ කතාව මම අහගෙන හිටියා..”
වාසනාගම පිහිටා තිබෙන්නේ කොළඹින් කිලෝමීටර් 230ක පමණ දුරින් පිහිටි වියලුවේ කන්දකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේය. (කොළඹ _ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාලිඇළ නගරයේ ඇති ”ගලඋඩ” පාරේ ගමන් කිරීමෙන් වාසනාගමට ළඟා විය හැකිය.)
සැබැවින්ම මේ ගමන දුෂ්කර එකකි. අප පසුගිය දිනෙක මේ ගමට ළඟා වූයේ 25 වැනි වතාවටත් පැවැත්වෙන වාසනාගම ඇත්තන්ගේ ප්‍රේමදාස අනුස්මරණ පින්කම ගැන මෙන්ම ප්‍රේමදාස ජනාධිපතිවරයා හා වාසනාගම අතර තිබූ හිතවත්කම සොයන්නටය. ඒ ගැන ඔබට කියන්නටය.
“මොකක්ද මේ විශේෂ හිතවත්කම..?
“ඒක දිග කතාවක්.” සුදු බණ්ඩා වෙද මහතා උගුරේ රැල් බුරුල් කරමින් ඒ අතීතය අවදි කරන්නට පටන් ගත්තේය.
යූ.එන්.පි.ය 1977 වසරේදී බලයට පත්වන්නේ ශ්‍රී ල.නි.ප. හවුල් ආණ්ඩුවට අන්ත පරාජයක් අත්කර දෙමිනි. මේ ජයග්‍රහණයට ප්‍රේමදාස මහතාගේ වාග් ප්‍රහාරය බෙහෙවින් ඉවහල් විය. ඔහු ගමක් ගමක් පාසා ගොස් චතුර කතිකයකු ලෙස හවුල් ආණ්ඩුව පතුරු ගැසුවේය. ඒ සඳහා ප්‍රේමදාස මහතාව මෙහෙයවූයේ ජේ.ආර්. ජයවර්ධන එ.ජා.ප. නායකයාය.
“මේ කාලයේ ප්‍රේමදාස මහත්තයා මේ පළාතටත් ආවා. හැබැයි මේ වාසනාගම හදපු පැත්තට නෙවෙයි ඔය අහල පහළ ගම්වලට..
කොහොම හරි මැතිවරණ සමය නිම වුණාට පස්සේ එතුමා පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වගේම අගමැති ධුරයට පත් වුණා. ඒ පත්වීම් ලබා ගත වූයේ මාස කිහිපයයි. එතුමා දවසක් එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමරවීර විරවන්නි මැතිතුමා එක්ක අපේ ගමට ආවා. එතකොට වීරවන්නි මහත්තයා තමයි වියලුව ආසනයේ සංවිධායක.”
ගලඋඩ පිහිටි මේ කුඩා ගම්මානයට ආ ප්‍රේමදාස අගමැතිවරයා එහි ජීවත්වූ පවුල් 90ක පමණ ජනතාව සමඟ සුහදව කතා කළේය. ගම්මුන්ගේ ජන ජීවිතය හා ආර්ථික තත්ත්වය ගැන හදවතින්ම කරුණු විමසා සිටියේය.
“අපේ ගමේ මිනිස්සු ඒ වෙද්දි ජීවත් වුණේ අනවසර ඉඩම්වල ගම්මිරිස් වගා කරලා. ඒ විදියට උපයා ගත් මුදලින් තමයි මිනිස්සු තමන්ගේ ජීවිතේ ගැට ගසා ගත්තේ..
ඉතින් අපි මේ පිළිබදව එදා එතුමාට කරුණු පැහැදිලි කළා. ඒ විතරක් නෙමෙයි, මේ ගමට අදාළ ඉතා රසවත් ඓතිහාසික කතා පවා අපි එතුමා සමඟ කිව්වා. බුදුරජාණන් වහන්සේගේ එදා ශ්‍රී පාදය ඇති අඩවියට වඩින වෙලාවේ අපි ඉන්න මේ කඳුවැටියට ඉහළ අහසින් උන්වහන්සේ ගමන්කළ බව සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගොවියෝ ඒ වෙලාවේ ගවයන්ට තළමින් කුරිරු විදියට වැඩ ගන්නා ආකාරය දැක උන්වහන්සේ නෙතග කඳුළු පිරුණු බවත් ඒ ජනප්‍රවාද කතා තුළ තිබෙනවා.”
ගම්මුන්ගේ මේ සියලු කතා අසා සිටි අගමැති ප්‍රේමදාස මහතා අවසානයේදී මෙසේ කීවේය.
“අපි මෙතැන ගම්මානයක් හදමු. ඒ වගේම මේ ගමට ”වාසනාගම” කියලා නම තියමු. මට මේ පරිසරය ගැන තිබෙන්නේ පුදුමාකාර කැමැත්තක්.”
ප්‍රේමදාස මහතා එසේ කියමින් පිටත්ව ගියේය. ඊළඟ දවසේ සිට ”වාසනාගම” ගොඩනැඟීමේ කටයුතු ලහි ලහියේ ආරම්භ විය. ඒ රණසිංහ ප්‍රේමදාසගේ හැටිය.
”වාසනාගම හැදුවේ දින 60ක කාල සටහනකට අනුව. ගමට නිවාස 100ක් හැදුවා. ඉස්කෝලයක්, සමුපකාරයක්, බෙහෙත් ශාලාවක්, කාර්මික විද්‍යා ආයතනයක්, විහාරස්ථානයක් වාගේම පාරවල්, බස් සේවයක් වගේ සාමාන්‍ය ජන ජීවිතයට අදාළ හැම දෙයක්ම මෙහි ස්ථාපිත කළා.
වතුර නැති අපට විශාල ජල නළ පද්ධතියක් හදලා වතුර ටික දුන්නා. හැම ගෙදරකටම අක්කර භාගයක ඉඩමක් හා අක්කර තුනක වගා ඉඩමක් දුන්නා. මිනිස්සු ඒ ඉඩම්වල ගම්මිරිස් වැව්වේ අවුරුද්දකට ලක්ෂ 12-15 අතර ආදායමක් ලබන විදියටයි.”
මුලදී වාසනා ගමේ ජීවත් වන දුප්පතුන් තම එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආහාර පාන හා ඇඳුම් පැලඳුම් පමණක් නොව, යාන්තමින් වගා කරගත් බෝග වගාවක් පවා විකිණීමට එන්නේ හාලිඇල නගරයටය. කිලෝමීටර් 20ක පමණ දුරක් ගෙවා පා ගමනින් එන ඔවුන් කළු කඩ මුදලාලිලා ඉදිරියේ අසරණ වී යන්නේ ඔවුන් දෙන සොච්චම් මුදලට ශාප කරමිනි.
“ප්‍රේමදාස මහත්තයා මේ තත්ත්වය තේරුම් ගත්තා… ඒ නිසාම එතුමා ගමේ බෝග වගා ගමේම සමුපකාරයට දීල සාධාරණ මුදලක් ගන්නව වගේම ගැමියන්ට අවශ්‍ය හැමදේම එතැනින් ලබා ගන්න පුළුවන් විදියට ඒක දියුණු කළා…”
සුදු බණ්ඩා වෙද මහතා පවසන ආකාරයට ප්‍රේමදාස මහතා පුදුමාකාර චරිතයකි. ඔහු වාසනා ගම අභිනවයෙන් ඉදිවෙන කාලය තුළදී විටින් විට වාසනාගමට ආවේය. ඒ සඳහා ඔහුට වෙලාවක් කලාවක් තිබුණේ නැත. අවේලාවේ පවා නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව හා අඩුපාඩු සොයා බැලීමට ඔහු අමතක නොකළේය.
“මේ ගම එතුමා විවෘත කළේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි අංකුරයඵක් පවා ගෙනැවිත් රෝපණය කරලයි. අද ඒ බෝ ගස මහා දැවැන්ත ගසක්.”
”එතකොට ප්‍රේමදාස මහතාගේ භස්මාවශේෂ මෙහි තැන්පත් කරන්න තරම් හේතුවුණේ මොකක්ද?”
මෙතෙක් වෙලාවක් සුදු බණ්ඩා වෙද මහතාගේ හා පියතිලකගේ කතාව අසා සිටි අපි විමසා සිටියෙමු.
”ඒක ලස්සන කතාවක්.. වාසනාගම විවෘත කළේ 1978 අප්‍රේල් මාසේ 10 වැනිදා. එදා ප්‍රේමදාස මහත්තයා මේ ගම්මානය ගැන මහ ඉහළින් කතා කරලා ගමට තමන් තුළ ඇති කැමැත්ත ප්‍රකාශ කළා. ඊට පස්සේ බොහොම සංවේදී ඉල්ලීමක් කළා. ඒක මට අද වගේ මතකයි.”
ප්‍රේමදාස අගමැතිවරයා එදා කළේ මෙවැනි ඉල්ලීමකි.
”මම මේ ගමට හුඟාක් කැමතියි.. ඒ වගේම ආදරෙයි… ඒ නිසාම මම මැරුණු දවසට මගේ අළු ටික ගෙනැවිත් මේ ගමේ තියෙන පන්සල අවට වළ දානවා නම් ඒකට මම හුඟාක් කැමැතියි. ඒක ඇත්තටම මගේ විශේෂ ඉල්ලීමක්. මෙතැන මගේ ආර්යාවත් ඉන්න නිසා ඇයටත් මම මේ වෙලාවේ ඒක මතක් කරනවා.”
ප්‍රේමදාස අගමැතිවරයා එසේ කියමින් මේ බව තම පෞද්ගලික දිනපොතේ ඒ බව සටහන් කරන බවද ගම්වාසීන් ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය.
කාලය ගෙවී ගියේය. එයින් වසර 16කට පසුව ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ “බාබු”ගේ ග්‍රහණයට ගොදුරුව මිය ගියේය.
මේ අභාග්‍යසම්පන්න සිදුවීමෙන් පසුව තම වේදනාව යටපත් වන තුරු කල් වැරූ ප්‍රේමදාස ආර්යාව සිය ස්වාමිපුරුෂයාගේ ඉල්ලීම ඉටු කිරීමට වාසනාගමට ආවාය.
”එදා එතුමිය අපි එක්ක කතා කරලා බොහොම චාම් විදියට ඒ යුතුකම මැනවින් ඉටු කළා. ඒ ප්‍රේමදාස මහත්තයා ඝාතනය වී මාස 11 ක් පමණ ගෙවී ගියාට පස්සේ…
ඇත්තටම වාසනා ගමේ අපිට ලොකු ආඩම්බරයක් තිබෙනවා. ඒ මේ රටට වැඩක් කරපු.. ඒ වගේම දුප්පත් මිනිසුන්ගේ හදවත්වල ජීවත් වුණු ප්‍රේමදාස මැතිතුමාගේ අළු ටික අපේ ගමේ තිබෙන එක ගැන. ලොකු ස්මාරකයක් හදලා කොළඹ පළාතේ තැන්පත් කරන්න තිබුණු එතුමාගේ අළු ටික අපේ ගමට රැගෙන ආපු එක ගැන අපි හේමා ප්‍රේමදාස මැතිනියට ස්තූතිවන්ත වෙනවා.”
ප්‍රේමදාස හිටපු ජනපතිවරයාගේ භස්මාවශේෂ තැන්පත් කර තිබෙන්නේ වාසනාගම ඉහළ කෙළවරක ඇති කඳු මුදුනේය. එනම් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ අංකුරයක් රෝපණය කර ඇති ඉසව්වකය. ඒ ආසන්නයේම ඇත්තේ ස්වයංරැකියා උගන්වන කාර්මික මධ්‍යස්ථානයකි.
“දැන් අපේ ගමේ හැම දේශපාලන පක්ෂයකටම සම්බන්ධ පිරිස් ඉන්නවා. ඒ අය තම තමන්ගේ දේශපාලන කටයුතු කරනවා. නමුත් ප්‍රේමදාස මහතාට ගරු කරනවා. එතුමන්ගේ භස්මාවශේෂ තැන්පත් කර තිබෙන ඉසව්වේ පක්ෂ පාට කොඩි දාන්නේ නැහැ. ස්වේච්ඡාවෙන්ම ඒ එහෙම නොකරන්න ගම්මුන් කටයුතු කරනවා.
ප්‍රේමදාස මහතා වාසනාගමට පැමිණ ඒ ගම විවෘත කරන මොහොතේ එහි රැස්ව සිටි පිරිස අතර සිටි සුදු බණ්ඩා වෙද මහතා තවමත් ප්‍රේමදාස චරිතයට ඇත්තේ අසීමිත භක්තියක්. මේ නිසාම සෑම වසරකම මැයි 01දාට කලින් සුදු බණ්ඩා වෙද මහතා අතින් ඉටුවන යුතුකම ඉටු කිරීමට ඔහු මෙවරත් සැදී පැහැදී සිටියි.
“මම මැයි 01දාට කලින් මේ පුංචි ස්මාරකය අවට සුද්ද පවිත්‍ර කරලා පාට ගානවා. ඊට පස්සේ 01 වැනිදාට පහන් පත්තු කරලා අටවිසි බුද්ධ පූජාවක් හා දානමය පින්කමක් සංවිධානය කරලා එතුමන්ට පින් දෙනවා.”
“මෙවරත් ඒක මම කරනවා. මගේ එකම බලාපොරොත්තුව මෙතැන ප්‍රේමදාස මහත්තයාගේ පිළිරුවක් පුංචියට හරි ඉදිකරන එක. පරම්පරා ගාණක් ඉදිරියට යද්දි අපේ අයට මෙතැන අමතක වෙන්න පුළුවන්. හැබැයි පිළිරුවක් හදලා සිහිවටන ඵලකයක් හැදුවොත් ඉදිරි පරම්පරාව අපි නැති කාලෙක වුණත් එතුමන්ට ගරු කරයි.
“ඒ වගේම මේ වාසනාගම නැවත උදා කළ ගම්මානයක් හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයගේ මැදිහත් වීමෙන් ගොඩනැඟුවොත් මේ පළාතේ අබලන් වී තිබෙන හැම ගොඩනැඟිල්ලක්ම හොඳ මට්ටමකට ගන්න පුළුවන් වේවි” සුදු බණ්ඩා වෙද මහතා කියන්නේ බලාපොරොත්තු දල්වාගෙනය.
කන්ද කැටිය ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් වාසනාගම දැන් රදා පවතින්නේද එජාප සභාපතිවරයා යටතේය. ඔහු කමල් රාජපක්ෂය. මේ කතාබහේදී අපට ඔහුගේ අදහස් දැනගැනීමටද ඕනෑ විය.
“අපේ් ආසනයේ එජාප සංවිධායක ජයන්ත කන්නන්ගර මහත්තයාගේ උපදෙස් මත අපි සූදානම් වී ඉන්නවා වාසනාගම පිහිටි ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගේ භස්මාවශේෂ තැන්පත් කර ඇති ස්ථානයේ පින්කමක් සංවිධානය කරන්න. ඒක අපි කරනවා. සජිත් මහත්තයටත් අපි හරි කැමැතියි. එතුමාගේ පියාණන්ගේ අළු අපේ බල ප්‍රදේශයේ තැන්පත් කර තිබීම අපට සතුටක්.
ප්‍රේමදාස මහතා සුප්‍රසිද්ධ වී සිටියේ දුප්පතාගේ හිතවතා ලෙසය. දුගී ජනතාවගේ හෘද ස්පන්දනය මනා ලෙස හඳුනන පුද්ගලයකු ලෙසය. වෙලාවට කලාවට වැඩ කරන ආදර්ශවත් දේශපාලනඥයකු ලෙසය.
අප වාසනාගම කඳු මුදුනේ සිට නැවත පල්ලම් බහින විට මෙනෙහි කළේ ප්‍රේමදාස චරිතය පිළිබඳව අප ඇසූ පිරූ ඒ කතන්දර ගැනය.
“ප්‍රේමදාස මහත්තයා නැති වුණේ දුප්පතාගේ කරුමෙට. අපට හැම වෙලාවෙම හිතෙන්නේ අනේ එතුමා හිටිය නම් කියලා. මැයි 01 වැනිදාට අපි හූල්ලන්නේ ඒක මතක් වෙලා. සුදු බණ්ඩා වෙද මහතා හිමිහිට කියනු අපට ඇසුණි.”
– සමන් ප්‍රියංකර නම්මුනිගේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply