Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මව්බිමට එරෙහිව ක්‍රීඩා කළ දා හැගීම විස්තර කරන්න අමාරුයි - ලංකාවට ක්‍රීඩා කරන්න සිහින දකින කැනඩා ආරම්භක පිතිකරු... (PHOTOS)



කුමන ක්‍රීඩාවකින් හෝ ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබීම ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයක්.ක්‍රිකට් ක්‍රීඩාවටත් එය එලෙසම වලංගුයි.
ඒ අතරතුර තම රටේ ජාතික කණ්ඩායමට අමතරව තවත් රටක ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමි කර ගත් ක්‍රීඩකයන් ද ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අප දැක තිබෙනවා.
එමෙන්ම වෙනත් රටක ජාතික කණ්ඩායමක් නියෝජනය කර සිය මව්බිමේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා බලාරොත්තුවෙන් සිටින ක්‍රීඩකයින් ද ලොව පුරා සිටින බව ඉතිහාසය සාක්ෂි දරනවා.
ජාතික කණ්ඩායම් දෙකක් නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනෙකු පමණ ක්‍රිකට් ඉතිහාසයේ සිටින බවයි අපට වාර්තා වුණේ.
ඩර්ක් නැනස් (නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව) සහ ලුක් රොන්චි (ඔස්ට්‍රේලියාව, නවසීලන්තය) වැනි ක්‍රීඩකයින් මෑතක දී එලෙස රටවල් දෙකක් නියෝජනය කළ ක්‍රීඩකයින් බව ඔබට මතක ඇති.  
කෙසේ වෙතත් රටවල් දෙකක් සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි කර ගත් මෙම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නම් මෙතෙක් ඇතුළත්ව නැහැ.
වෙනත් රටක ජාතික කණ්ඩායමක් නියෝජනය කර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයෙකු අපට හමුවන්නේ මේ අතරතුරයි.
ඔහු නමින් රුවිදු ගුණසේකර.වයස අවුරුද 16 දී කැනඩා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත වූ ඔහු සිය මව් බිම වූ ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියක දී පවා ක්‍රීඩා කිරීමේ දුර්ලබ අවස්ථාවත් 2011 වසරේ දී හිමි කර ගත්තා.
මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ සිහිනය දකින 26 හැවිරිදි රුවිදු නිමා වූ අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඒ සිහිනය යථාර්තයක් බවට පත්වන බවට ඉගි පල කරමින්.
මේ අතරතුරයි රුවිදු ගුණසේකර අප සමග විශේෂ සංවාදයකට එක් වුණේ.
මම මේ වසරේ දී සැරසන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේ. තරග 5ක් මූලික වටයේ දී ක්‍රීඩා කළා. ඉන් තරග 3ක් අපි දින්නා. එක් තරගයක් පරාජයට පත් වෙලා අනිත් තරගය ලකුණු සම වීම නිසා ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ. ඒ නිසා අපිට ඊළග වටයට සුදුසකම් ලබන්න බැරි වුණා. ඒ ගැන කණගාටුයි. නමුත් මම තරගාවලියේ දී හොදින් ලකුණු අතරට ආව එක ගැන සතුටුයි. තරග පහේ දී මම ලකුණු 272ක් ලබා ගත්තා. ඒ වගේම කඩුලු 8ක් දවා ගන්නත් මට හැකි වුණා. තරගාවලිය අවසානයේ දී මම ලකුණු ලාභීන් අතර පෙරමුණේ හිටිය එක ගැන සතුටුයි. නමුත් අවාසනාවට අපිට තරගාවලියේ ඉදිරියට යන්න බැරි වුණා. ඒ ගැන කණගාටුයි.‘
රුවිදු ගුණසේකර යනු  තම රටට එරෙහිව වෙනත් රටක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අතිශය දුර්ලබ අවස්ථාවක් හිමි කරගත් ක්‍රීඩකයෙක්.
ලෝකයෙන්ම ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට පමණක් අත්විදීමට ලැබෙන ඒ දුර්ලභ අවස්ථාව සම්බන්ධයෙන් නිව්ස් 24 වෙත රුවිදු පල කළේ මෙවන් අදහසක්.
“ ඒ හැගීම විස්තර කරන්න අමාරුයි. 2011 දී මම ඒ ලෝක කුසලානයට ක්‍රීඩා කළේ අවුරුදු 19 දී. ඉතා දක්ෂ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් සමග තමා එදා අපි ක්‍රීඩා කළේ. එක් අතකින් ඒක ඉතා සතුටුදායකයි. මොකද සංගක්කාර , මහේල වගේ දක්ෂ ක්‍රීඩකයින් සමග ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වුණා. ඒ තුළින් හුගක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන් වුණා. “
රුවිදු ගුණසේකරගේ පියා ද ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්.
එම පවුල් පසුබිමෙන් පන්නරය ලැබූ රුවිදු සිය ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය පිළිබද අප සමග මෙලෙස අදහස් දක්වා සිටියා.
මම පොඩි කාලෙ ඉදන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් කැමතියි. මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ දී ඒ කියන්නේ මට අවුරුදු 6ක් 7ක් වුණ කාලයේ ඉදං මම ලෙදර් පන්දුවෙන් ක්‍රීඩා කරන්න පටන් ගත්තා. මොකද මගේ පියාත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඒ පවුල් පසුබිම නිසා ක්‍රිකට් පැත්තට කුඩා කාලයේ සිටම අවධානය මගෙ යොමු වුණා. පස්සෙ කැනඩාවෙ ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුර මම අයෙත් 2004 දී ලංකාවට ආව. එතකොට මම ශාන්ත පීතර විද්‍යාලයට ගියෙ. ඊට පස්සෙ මම අයෙත් කැනඩා ගිහිං පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ලංකාවට ආවෙ 2010 දී. එහිදී හලාවත මේරියන්ස් සහ බදුරලිය කණ්ඩායම්වලට ක්‍රීඩා කළා. ඒ තරගවලදී මම හොදින් ලකුණු අතරෙ හිටියා. ඊට පස්සෙ තමයි මම 2011 ලෝක කුසලානයට ක්‍රීඩා කළේ කැනඩාව වෙනුවෙන්. පළමු තරගය තිබ්බෙත් ලංකාවත් එක්ක. උසස් අධ්‍යාපන කටයුතු නිසා දිගටම කැනඩා ඉන්න ගමන් එරට ජාතික කණ්ඩායම නියෝජනය කළා. උසස් අධ්‍යාපන කටයුතුවලින් පස්සෙ ලංකාවට ඇවිත් 2016 දී මම මුවර්ස් ක්‍රීඩා සමාජයටත් මේ අවුරුද්දෙදි සැරසන්ස් ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කළා.‘
ජාතික ක්‍රිකට් කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කළ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ හැකියාව රුවිදුට හිමි වේවිද? සිය ක්‍රිකට් අනාගය සම්බන්ධයෙන් ඔහු අප සමග දැක් වූයේ මෙවන් අදහසක්.
 මේ දවස්වල මම පුහුණුකරුවෙක් සමග මගේ දක්ෂතා වර්ධනය කර ගැනීම සදහා පුහුණුවීම් කරනවා. ඉදිරියේ දී පැවැත්වෙන සුපිරි අන්තර් පළාත් එක්දින සහ 20යි 20 තරගාවලි සදහා ක්‍රීඩා කරන්න තමයි මම මේ දවස්වල සූදානමින් ඉන්නෙ. අනාගතයේ දී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න ලැබුණොත් මම බොහොම සතුටින් ක්‍රීඩා කරනවා. ඒක තමයි මගේ ප්‍රධානම අරමුණ දැන්. පොඩි කාලෙ ඉදං ආසාව තිබ්බෙත් ලංකාවට ක්‍රීඩා කරන්න. ගෙදරිනුත් ලොකු සහයක් ලැබෙනවා මට. මේ වන විට 20යි 20 හා එක්දින තරගවලදී තමයි මම හොදට ක්‍රීඩා කරල තියෙන්නෙ. ඉදිරියේ දී තෙදින සහ සිව් දින තරගවලදීත් දක්ෂතා අතරට ඇවිත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වෙන එක තමයි මගෙ බලාපොරොත්තුව. ‘

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply