Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » චිත්‍රයක් නිසා ඔබාමා ඇමරිකානු පුරවැසිභාවය ලබා දුන් අපේ චිත්‍ර ශිල්පියා.. (PHOTOS)


රාජ්‍ය නායකයෙකු අතින් ඇමරිකානු  පුරවැසි භාවය ලබා ගන්නවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ඇමරිකානු පුරවැසි භාවයත් එක්ක  තවත් බොහෝ අවස්ථාවන් රැසක් ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා අතින් හිමිවුන අපේ ලංකාවේ චිත්‍ර ශිල්පියෙකුගේ අපූරු කතාවක් සතිඅන්ත පුවත් පතක් වාර්තා කර තිබුනා. මේ ඔහුගේ කතාවයි.
“ඒ 2012 අවුරුද්දේ දවසක්. මම ඒ  වෙලාවෙ හිටියේ අමෙරිකාවෙ ලොස්ඇන්ජලීස්වල. ජනාධිපති බැරැක් ඔබාමා ඇවිත් රැස්වීමක කතා කළා. එතැනදී මම ඔහුගෙ හරිම ලස්සන ඉරියව්වක් දැක්කා. මම ඒ වෙලාවෙම කඩදාසියක ඒ ඇක්ෂන් එක සටහන් කර ගත්තා. ග්‍රේෂන් කියලා ලංකාවෙන් ගිහින් හිටපු අවුරුදු 90ක විතර වයසක ගෘහ නිර්මාණ ශිල්පී මහත්තයකුත් ඒ දවස්වල එහේ හිටියා. මම ඔහුට සටහන් කරගත් චිත්‍රය පෙන්නුවා. ඔහු තමයි මාව උනන්දු කළේ ඒ චිත්‍රය හොඳට ඇඳලා ඔබාමාට තෑගි කරන්න කියලා. ඊට පසු මම කැන්වස් රෙද්දක් ගෙනල්ලා අඩි 4 ක් දිග අඩි 2 ½ ක් පළලට චිත්‍රය ඇන්දා. ඊට පස්සේ වොෂිංටන්හි ධවල මන්දිරයට බැරැක් ඔබාමාගේ නමට යැව්වා.”
අපට එලෙස සිය අත්දැකීම් පැවසුවේ අහංගම විජේසිංහ මාවතේ පදිංචි වෝල්ටර් කුලසූරිය නම් ප්‍රවීණ චිත්‍ර ශිල්පියාය. අහංගම විසිකි කලාගාරය පවත්වාගෙන යන ඔහු අමෙරිකානු ගෞරවනීය පුරවැසියෙකි. කුරුණෑගල ඉපදී හබරාදුවෙන් විවාහ වී කලාගාරයක් පවත්වාගෙන ගිය වෝල්ටර් ලංකාවේ නේවාසිකයෙක් වුණේ කොහොමද?
“මම ඔබාමාට චිත්‍රය යවන විට පසුගිය 2004 සුනාමියෙන් මගේ ගෙවල් දොරවල් විනාශ වූ අවස්ථාවේ අමෙරිකානුවන් කරපු උදව් ගැනත් ලිව්වා. මාස තුනකට විතර පස්සේ ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ආරක්ෂක අංශත් සමඟ අපේ ගෙදරට ගිහින් තොරතුරු හොයලා තිබෙනවා. ගෙදරින් කලබල වෙලා මට ඒ බව දුරකතනයෙන් කිව්වා. ඔන්න ආයෙත් දවසක අමෙරිකානු රාජ්‍ය නිලධාරින් මම ලොස්ඇන්ජලීස්වල ඉන්න තට්ටු නිවාසෙට ඇවිත් මගේ විස්තරයක් ලබාගත්තා. එතකොට තමයි මට සිද්ධිය දැනුම් දුන්නේ. ආයෙත් මාස තුනකට විතර පස්සේ මට වොෂින්ටන්වල ධවල මන්දිරයට එන්න ගුවන් ටිකට්පත් එවලා තිබුණා. මම එතැනට ගියෙත් ග්‍රේෂන් මහත්තයත් එක්ක. ඔබාමා පැමිණ අතට අත දී මට සුබ පැතුවා. විනාඩි 10 ක් වගේ තමයි ඔහුව හමුවන්න ලැබුණේ. එතැනදී මට ගෞරව පුරවැසිභාවය ප්‍රදානය කෙරුවා.”
අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ගරු පුරවැසිභාවය ලබාගැනීම ලේසිපාසු කරුණක් නොවේ. වෝල්ටර්ට නොසිතූ පරිදි ඒ අවස්ථාව උදාවූයේ ඔහුගේ සිත්තමේ සුවිශේෂීභාවයට ජනාධිපති ඔබාමා තුළ වූ පැහැදීම නිසාය. ඒ සමඟම ඔහුට වොෂිංටන් ඩීසීවල රජයේ තට්ටු නිවාසයක්, ආහාරපාන දීමනාවක් සහ මාසිකව ඩොලර් 1250ක යැපුම් දීමනාවක් හිමි විය. මේ දීමනාව වෝල්ටර් ලංකාවේ සිටියද අදටත් ඔහුගේ අමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ ගිණුමට බැර වේ. නමුත් එම දීමනාව වියදම් කළ හැක්කේ අමෙරිකාව තුළ පමණි. ඒ සමඟම රෝහල් වෛද්‍ය ගාස්තු ද නොමිලේ හිමි විය. පසු දිනෙක හදවත් ශල්‍යකර්මයකට වෝල්ටර්ට ඩොලර් 25000 ක් වැය වුවද එය නොමිලේ කර ගැනීමට ඒ නිසා හැකියාව ලැබුණි. ඔහුට අමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රය ද හිමිවූ අතර ඒ නිසා යුරෝපයේ ඕනෑම රටකට වීසා නැතිව ගමන් කිරීමේ අවස්ථාව හිමි විය.
වෝල්ටර් අමෙරිකාවේ සිටියදී වෘත්තිය වශයෙන් කළේ නිදහස් චිත්‍ර ශිල්පියකු ලෙස පෙර පාසල්වල සිතුවම් ඇඳීම, චිත්‍ර වැඩමුළු පැවැත්වීම ආදියයි. ඒ අතරවාරයේ ලොස්ඇන්ජලීස්හි ලක්මා කෞතුකාගාරයේ පළුඳු වූ චිත්‍ර සංරක්ෂණය කිරීමේ අවස්ථාවද ඔහුට හිමි විය. ගෙටි කෞතුකාගාරයේ චිත්‍ර සංරක්ෂණ අවස්ථා ද ඔහුට සමහර අවස්ථාවලදී ලැබුණි. “වැඩක් නැතිවෙන කොට පදික වේදිකාවේ ඉඳගෙන පුද්ගල චිත්‍ර ඇඳල කීයක් හරි හොයාගන්න පුළුවන්. එක චිත්‍රයකට ඩොලර් 100 ක් ලැබෙනවා. පැය දෙකකින් විතර පස් දෙනෙක් ඇඳලා ඩොලර් 500 ක් ගන්න පුළුවන්. ඒ අතරම අඩු මිලකට ලබාගත හැකි කලාගාරයක් අරගෙන චිත්‍ර ප්‍රදර්ශනත් තියනවා.”
ඒ ආකාරයට ඔහුගේ අමෙරිකානු පුරවැසි ජීවිතය ගලායන්නේ සැහැල්ලු ආකාරයෙනි. ඔහු මහත් තෘප්තිමත් බවකිනි, ශ්‍රී ලංකාවේ සිටින අතරතුර මේ තොරතුරු අපට පැවසුවේ.
වෝල්ටර්ගේ පියා විදුහල්පතිවරයෙක් විය. වෝල්ටර් උපත ලද්දේ 1945 අප්‍රේල් 11 දා කුරුණෑගල දෙමටලුව ගම්මානයේය. ඉතා සුන්දර බාල කාලයක් ඔහුට හිමි විය. ඔහුගේ පියා කාටත් උදව් උපකාර කළ සත්පුරැෂයෙක් වශයෙන් ප්‍රකට පුද්ගලයෙකි. කුරුණෑගල ක්‍රිස්තුදේව විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ වෝල්ටර් ද්විතියික අධ්‍යාපනයට ඇතුළු වුණේ මලියදේව විදුහලටය.
“ජ්‍යෙෂ්ඨ පන්තියෙන් පස්සේ මට චිත්‍ර කලාව ඉගෙන ගන්න ආසාවක් ඇතිවුණා. 1959 දී කොළඹ රජයේ චිත්‍රකර්ම විද්‍යාලයේ (හේවුඩ් – දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) විභාගයට ලියලා සමත් වුණා. ඒ කාලෙ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් ගණනාවක් එහි ගුරුවරු වශයෙන් හිටියා. ඩේවිඩ් පේන්ටර්, ස්ටැන්ලි අබේසිංහ, සල්දීන් ගුරුතුමා වගේ අයගෙන් චිත්‍ර ශිල්පය හැදෑරුවා. බිතුසිතුවම් කලාව ගැන හැදෑරුවේ හෙන්රි ධර්මසේනගෙන්.”
හේවුඩ් ආයතනයේ චිත්‍ර අඳිමින් ශිල්පය ප්‍රගුණ කරන අතර තරුණ වෝල්ටර්ට මදුරාසියේ (චෙන්නායි) ලලිතකලා ඇකඩමියේ චිත්‍ර ශිල්පය හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි විය. ඔහු එලෙස අධ්‍යාපනය නිමකර පැමිණි පසු ගුරු වෘත්තියට පිවිසීමේ අවස්ථාව උදා විය. ඔහු බණ්ඩාරවෙල හැදුනුවැව විදුහලේ වර්ෂ 6 ක් පමණ චිත්‍ර ඉගැන්නුවේය. නමුත් චිත්‍ර ගුරුවරයකු ලෙස දිගටම රැඳීසිටීමට ඔහු තුළ කැමැත්තක් තිබුණේ නැත. ඊට පසු ඔහු ග්‍රාන්ට් මැකෑන් එරික්සන්, ජේ. වෝල්ටර් තොම්සන් වැනි ප්‍රචාරණ ආයතනවලට කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස සම්බන්ධ විය.
කුරුණෑගල උපන් ඔහු විවාහ වූයේ හබරාදුවෙනි. ඊට පසු ඔහු පදිංචිය සඳහා දකුණට පැමිණියේය. විවාහයෙන් ඔහු පුතුන් දෙදෙනෙක්ගේ හා දියණියකගේ පියකු බවට පත් විය. 1980 දශකයේ දී වෝල්ටර් කොග්ගල හොරයිසන් හෝටලය ඉදිරිපිට ගොඩනැගිල්ලක් කුලියට ගෙන බතික් සාප්පුවක් විවෘත කළේය. ඔහුගේ බතික් චිත්‍ර සහිත රෙදිපිළි විදේශිකයන් අතර ජනප්‍රිය විය. “දවසක් ප්‍රේමදාස මහත්තයා අගමැති කාලෙ මගෙ චිත්‍ර නිර්මාණ දැකලා මට උදව් කරන්න ඕනෑ කියලා අහංගමින් දැන් මේ ඉන්න ඉඩම දුන්නා. මෙතන පර්චස් 20 ක් තිබෙනවා. එතැන තමයි විසිකි කලාගාරය විවෘත කළේ. පස්සේ බතික් වෙනුවට චිත්‍ර අඳින්නට පටන් ගත්තා. මගේ හිතවත් විදේශිකයෙක් මා ඒ සඳහා උනන්දු කළා.
විසිකි ගැලරියෙන් මිලදීගත් චිත්‍රවලින් ලෝකයේ විවිධ රටවල නිවාස හා කලාගාර අලංකාර විය. ඒ සමඟම වෝල්ටර් කුලසූරිය යන නම අමෙරිකාව, එංගලන්තය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ආදී රටවල ජනප්‍රිය විය. 2004 දෙසැම්බර් 26 සුනාමි විපත පැමිණියේ ඒ අතරය. ඒ වන විට විසිකි ගැලරිය චිත්‍ර රාශියක් සමඟ විවෘත කර ගතව තිබුණේ මාස තුනක් පමණි. ඔහුගේ බලාපොරොත්තු මුහුදට ගසාගෙන ගියේය. වෝල්ටර් යුවළ ජීවිතය බේරාගත්තේ ද අනූ නමයෙනි. වෝල්ටර් දවස් 28 ක් අනාථ කඳවුරක ගාල් වී සිටියේය.
“කලින් ඇඳුනුම්කම නිසා විදේශිකයො ඇවිත් මට උදව් කළා. ආයෙත් ගැලරිය වගේම ගේ හදාගන්නත් උදව් කළේ විදේශිකයෝ.” ඔහු පවසයි.
ඔහුගේ චිත්‍රවලට 1996 සිට 2001 දක්වා අඛණ්ඩව ලංකා කලා සංගමය පවත්වන චිත්‍ර තරගවලින් ජනාධිපති සම්මාන හිමි වී තිබේ. චිත්‍ර ශිල්පයට පමණක් නොව කියවීමටද ඔහු රුසියෙකි. ඔහු සතු පුස්තකාලයේ පොත් දහස් ගණනක එකතුවක් තිබේ.“චිත්‍ර ගැන විතරක් කියවලා සීමාවුණොත් වන්නේ චිත්‍ර තුළ හිරවීමයි. ඒ නිසා ස්වභාවධර්මය, ආගම ධර්මය, විද්‍යාව ගැන මම කියවනවා.” ඔහු පැවසුවේය.
“අපි ඉගෙන ගන්න කාලෙ ගුරුවරුන්ගෙන් තමන්ට ස්වාධීන මාවතක යන්නට නිදහසක් තිබුණා. නමුත් අද ගුරුවරුන් අනුකරණවලට තමයි ශිෂ්‍යයෝ හුරු කරන්නේ. එතකොට ගුරුවරයාගේ ශිල්පීය ක්‍රමයම තමයි ගෝලයා අනුගමනය කරන්නෙත්. ඒක හරි වැරදියි.
අමෙරිකාව වගේ රටවල මිනිස්සු චිත්‍ර වගේ සියුම් කලාවන් හරියට රසවිඳිනවා. ඔවුන් චිත්‍ර රසවිඳ අප සමඟ සාකච්ඡා කරනවා. ඒක කොච්චර සතුටක්ද? මේ වෝල්ටර්ගේ සිතුවිලිය.
චිත්‍ර ඇඳීමට අමතරව පිටරටින් චිත්‍ර උපකරණ, වටිනා කඩදාසි, තීන්ත ආදිය ගෙන්වා ආර්ථික අපහසුතා ඇති චිත්‍ර ශිල්පීන්ට පරිත්‍යාග කිරීමද වෝල්ටර්ගේ සත් ගුණයකි. ඒ අතරම දුෂ්කර පාසල්වලටද උපකාර කර තිබේ. “මම විදේශිකයන්ගෙ උදව්වෙන් දුෂ්කර පාසල්වලට පරිගණක අරන් දුන්නා. සමහර ගුරුවරු ගෙදර තිබුණු ඔවුන්ගේ පරණ කොම්පියුටරය ඉස්කෝලෙට ගෙනත් දාලා අර කොම්පියුටර් අරගෙන ගිය බව ආරංචි වුණා. එහෙම වුණහම අපි කලකිරෙනවා නේද?” ශ්‍රී ලාංකිකයන්ගේ දුර්ගුණයක් හෙළිකරමින් ඔහු පැවසුවේය.
වෝල්ටර්ගේ චිත්‍රවල අපට දේශීය සම්භාව්‍ය ශෛලිය මෙන්ම බටහිර නූතන ශෛලියද මිශ්‍ර වූ ආරක් හමුවේ. ඔහු භාවිත කරන වර්ණ ඇසට ප්‍රියය. හැඩතල සජීවී බවක් දනවයි. “අද නූතන චිත්‍ර කලාව කියලා ලොකෙ පුරාම හඳුන්වනවා. මම නම් හිතන්නේ අදහස් හා සංකල්ප මිශ්‍ර කරලා නූතන චිත්‍ර කලාව පටන් ගත්තේ ලංකාවෙ කියලයි. බලන්න නුවර යුගයේ චිත්‍ර. ඒවායේ තිබෙන්නේ සංකල්ප. ඒ සංකල්ප මත තමයි චිත්‍ර ගොඩනංවලා තිබෙන්නේ. මිනිස් රූප, ගස්වැල්, නෙළුම් මල්, සතුන් වගේ හැම රූපයක්ම සංකේත විදිහටයි මහනුවර යුගයේ ශිල්පියා ඇඳලා තියෙන්නේ.” වෝල්ටර් පැවසුවේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply