Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » දියවන්නාව තරණය කළ කාන්තාවෝ.....


මෙරට පිරිමි ජනගහනයට වඩා කාන්තා ජනගහන‍ය වැඩිය. එහෙත් දේශපාලන ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවක් පේන්නට නැත. කාන්තාවන් නීත්‍යානුකූල දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වූයේ 1931දීය.
ප්‍රථම මැතිවරණය වැඩිහිටි සර්වඡන්දය පදනම් කරගෙන පැවැත්වූ අතර කාන්තාවන් තිදෙනෙක් ඊට තරඟ කළ බව වාර්තා වෙයි. ඒ අනුව 1931 දී  තේසුම් සරවනමුත්තු නැමැති ද්‍රවිඩ වෛද්‍යවරිය කොළඹ කොට්ඨාසයට තේරී පත්වූ අතර ඇඩ්ලින් මොලමුරේ සිය පියාගේ අභාවයෙන් පසු පැවැත්වූ අතුරු මැතිවරණයකින් ජයගෙන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ඇතුළු වූවා.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මැති සබයට එන්නට වරම් ලැබුණේ 1931 දී, ලංකාවට ප්‍රදානය කළ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයත් සමඟ සර්වජන ඡන්ද බලය ලැබීම නිසාය.
1936 පැවති මැතිවරණයට කාන්තාවන් තිදෙනෙක් තරඟ කළත්, උතුරු කොළඹ අසුනට තරඟ කළ තේසම් සරවනමුත්තු මහත්මිය පමණක් ජයගෙන වාර්තාවක් තැබුවාය. ඒ මැතිවරණයකට තරඟ කොට ජයගෙන මන්ත්‍රී මණ්ඩලයට පිවිසි ප්‍රථම කාන්තාව ලෙසට ය. 1947 දී නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයට කාන්තාවන් තිදෙනෙක් තරඟ වැදුණ අතර මුස්ලිම් කාන්තාවක්ද ඒ අතර වූවාය. ඈ මැද කොළඹට අයේෂා රවුෆ් මැතිනියයි., කිරිඇල්ලට ෆ්ලෝරන්ස් සේනානායක මැතිනියත්, බලපිටියට ශ්‍රීමති අබයගුණවර්ධන මැතිනියත් තරඟ කළ අතර තම ආසනය දිනා පාර්ලිමේන්තුවට ඒමට වරම් ලද්දේ ෆ්ලෝරන්ස් සේනානායක මැතිනියට පමණකි. ඒ අනුව පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රථම කාන්තාව වන්නේ ප්ලෝරන්ස් සේනානායක මැතිනියයි. කෙසේ වෙතත්, ප්‍රථම පාර්ලිමේන්තු කාලය අවසන් වීමට පෙර තවත් කාන්තාවන් දෙදෙනෙක් පාර්ලිමේන්තුවට එක් වූහ. අවිස්සාවේල්ල අසුන අහිමි වූ පිලිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් එම ආසනයෙන් කුසුමා ගුණවර්ධන මහත්මිය නිතරඟයෙන් පත් වූවාය. ඊට අමතරව, මහනුවර අසුන අහිමි වු ටී.බී. ඉලංගරත්න මහතා වෙනුවෙන් අතුරු මැතිවරණයේදී තරඟ කළ තමරා කුමාරි ඉලංගරත්න මැතිනිය ජයග්‍රහණය කළෙන් එම දෙපොල පාර්ලිමේන්තුවට පත්ව ආහ.
1952 මහ මැතිවරණයට කාන්තාවන් දොළොස් දෙනෙකු ඉදිරිපත් වූ නමුත් දියවන්නා තරණයට වරම් ලද්දේ  කුසුමා ගුණවර්ධන මහත්මියත්, අකුරැස්ස අසුනට තරඟ කළ ඩොරීන් වික්‍රමසිංහ මහත්මියත් පමණි. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට සුදු ජාතික කාන්තාවක් පාර්ලිමේන්තු යන්නේ 52දීය. ඩොරින් වික්‍රමසිංහ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ බිරිඳය. ඈ සුදු කතකි.
56 මැතිවරණය වැදගත් වන්නේ ඊට තරඟ කළ පස් දෙනාගෙන් හතර දෙනෙක්ම ජයගත් නිසාය.
ඒ විවියන් ගුණවර්ධන, ක්ලෝඩා ජයසූරිය, විමලා විජයවර්ධන හා කුසුමා ගුණවර්ධන යන හතර දෙනාය. මෙරට ඉතිහාසයේ ප්‍රථම අමාත්‍යවරිය බිහිවන්නේ 56දීය. ඒ අනුව, විමලා විජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරිය ද වූවාය.
56 දී  පැවති මැතිවරණය විශේෂ වන්නේ, ජෝඩු දෙකක්ම පාර්ලිමේන්තු ඒමය. ඒ අනුව පිලිප් ගුණවර්ධන - කුසුමා ගුණවර්ධන ජෝඩුවත්,ලෙස්ලි ගුණවර්ධන - විවියන් ගුණවර්ධන ජෝඩුවත් පාර්ලිමේන්තුව නියෝජනය කළහ.
හතරදෙනාම ගුණවර්ධනලාය.
1956 සැප්තැම්බර් 25  තීරණාත්මකය. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකාවක ලෙස තේරී පත්ව ලොව ප්‍රථම අගමැතිනිය වීමය.
1960 මාර්තු මැතිවරණයෙන් කාන්තාවෝ තිදෙනෙක් ජයග්‍රහණය කළ අතර සෝමා වික්‍රමනායක, විමලා කන්නන්ගර, කුසුමා රාජරත්න ඒ තිදෙනාය.
ඩඩ්ලිගේ දවස් 33 ආණ්ඩුව පෙරලී, 1960 ජූලි මාසයේ මැතිවරණය   පැවතෙද්දී එම මැතිවරණය සඳහා කුසුමා රාජාරත්න, විමලා කන්නන්ගර, සෝමා කන්නන්ගර, විවියන් ගුණවර්ධන සිවු දෙනා ඉදිරිපත් වූහ.
මෙලෙස ක්‍රමානුකූලව කාන්තාවන් පාර්ලිමේන්තු නියෝජනය ලබන අතරේ, 1970 හයදෙනෙකුත්, 1977 සිවු දෙනෙකුත්, 1989 මැතිවරණයෙන් දහ දෙනෙකුත් පාර්ලිමේන්තු ආහ.
1994 වර්ෂයේ පැවැති 9 වන පාර්ලිමේන්තුව විශේෂ වන්නේ වැඩිම කාන්තා නියෝජනයක් සිදුවූ අවස්ථාව නිසාය. ලොව දෙවැනි ජනපතිනිය එවර බිහිවෙයි. ඒ චන්ද්‍රිකා කුමාරතුංගය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැතිනිය වෙයි. මවත් දියණියත් අගමැති, ජනපති වූ ලොව මුල්ම අවස්ථාව එය විය.
94 කාන්තාවෝ 14ක් දියවන්නාව තරණය කළහ.
මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ 94 තීරණාත්මක වන්නේ කාන්තාවන් දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් තරඟ කිරීමය. ඒ පොදු පෙරමුණෙන් චන්ද්‍රිකා කුමාරතුංග තරඟ කරද්දී දිවංගත ගාමිණී දිසානායකගේ අනුප්‍රාප්තිකයා ලෙස ශ්‍රීමා දිසානායක එජාපයෙන් තරඟ කිරීමය.
එජාපයෙන් කාන්තාවක් ඉහළම මට්ටමේ මැතිවරණයකට තරඟ කරන්නේ 94දීය.
2010 මහ මැතිවරණය කාන්තා නියෝජනය තීව්‍ර වූ මැතිවරණයයි. මන්ත්‍රීවරියන් 13ක් තේරී පත් වූ පාර්ලිමේන්තුවක් 2010 නිර්මාණය විය. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, නිරුපමා රාජපක්‌ෂ, පවිත්‍රා දේවි වන්නිආරච්චි, ශ්‍රියානි විජේවික්‍රම, සුමේධා ජී. ජයසේන, රෝසි සේනානායක, උපේක්‌ෂා ස්‌වර්ණමාලි, තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්‌ඩාර, විජය කලා මහේෂ්වරන්, මාලිනී ෆොන්සේකා, කමලා රණතුංග, අනෝමා ගමගේ ඒ 13දෙනාය.
මේ වනවිට ක්‍රියාත්මක පාර්ලිමේන්තුවේද කාන්තාවන් 13ක් දියවන්නාවේ සිටින අතර ඉන් හත් දෙනෙක් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර හොබවති. මෙරට ඉතිහාසයේ පළමු අධිකරණ අමාත්‍යවරිය බිහි කරන්නේ මේ පාර්ලිමේන්තුවය. ඈ තලතා අතුකෝරළය.
මේ කාන්තා නියෝජනයන්හිදී සැලකිල්ලට ගත යුතුම කාරණය වන්නේ නියෝජනයන්ගෙන් බහුතරය පවුල් පසුබිම මත ලද නියෝජනයන් වීමයි.
නේසම් සරවනමුත්තු , කුසුමා ගුණවර්ධන, තමරා කුමාරි ඉලංගරත්න, ඩොරීන් වික්‍රමසිංහ, විවියන් ගුණවර්ධන, කුසුමා රාජරත්න, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අමරා පියසීලි රත්නායක, හේමා රත්නායක, සුමේධා ජයසේන, කුසලා අබේවර්ධන, ලෝහිණි විජේසිරි, සුරංගනී එල්ලාවල, ශ්‍රීයානි ප්‍රනාන්දු, ලැරීන් පෙරේරා, මල්ලිකාද මැල්, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, විජයකලා මහේෂ්වරන්, අනෝමා ගමගේ, රෝහිණි විජේරත්න, ශ්‍රීමනී ඇතුලත්මුදලි යන කාන්තාවන් දියවන්නාව තරණය කරන්නේ,සැමියාගේ අකල් මරණය, ඝාතනය හෝ වෙනත් දායාද හේතුවෙනුයි.
තලතා අතුකෝරල සහ රූපා ශ්‍රියානි ඩැනියෙල් සහෝදරයින් නිසා දියවන්නා පැමිණියහ. ෆේරියල් අෂ්රොෆ්  2000 දී  පාර්ලිමේන්තුවට පැමිණියේ මෙරට මහජන ඡන්දයෙන් තේරී පාර්ලිමේන්තුවේ අසුන් ගත් ප්‍රථම මුස්ලිම් මන්ත්‍රීවරිය වෙමිනි. ඊට අමතරව සුරංගනී එල්ලාවල, සෝමා කුමාරි තෙන්නකෝන්, ශ්‍රීයානි ප්‍රනාන්දු ද,  චන්ද්‍රානි බණ්ඩාර යන කාන්තාවන් 2000 පාර්ලිමේන්තුව ආහ. 2001 දී ලැරින් පෙරේරා, මල්ලිකාද මැල්, සුජාතා අලහකෝන්, චිත්‍රා මංතිලක, කේ.තංගේෂ්වරී සහ තලතා අතුකෝරල දියවන්නා ආහ. ඉන් චිත්‍රා මංතිලක කිසිම දේශපාලන පවුල් පසුබිමක් නැතිව ආ කතකි.
විමලා විජේවර්ධන, විමලා කන්නන්ගර, සෝමා වික්‍රමනායක, ලැටීෂියා රාජපක්ෂ, රේණුකා හේරත්, සුජාතා ධර්ම වර්ධන, ආර්.එම්.පුලේන්ද්‍රන්, අන්ජාන් උම්මා, චිත්‍රා මන්තිලක, ශ්‍රීයාණි විජේවික්‍රම, උපේක්ෂා ස්වර්ණමාලී, රෝසි සේනානායක, අමරා දිසානායක, ආර්.පද්මනාදන්, කේ.තංගේෂ්වරී, මාලනි‍ ෆොන්සේකා, කමලා රණතුංග, ගීතා කුමාරසිංහ, තුසිතා විජේමාන්න, සහ ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා යන අය ස්ව ශක්තියෙන් දේශපාලනයට පිවිස දියවන්නාව තරණය කළ කාන්තාවෝය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply