Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මලික්ගේ යෝජනාවෙන් කැබිනට්ටුව කැළඹෙයි


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ අමාත්‍ය කමිටුව අහෝසි කිරීමට යෝජනාකර තිබියදී තවදුරටත් එය පවත්වාගෙන යෑම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කැබිනට් මණ්ඩලයේදී දොස් පවරා ඇති බව වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා අගමැතිවරයාට දෝෂාරෝපණය නොකල බවත් ජනාධිපතිවරයා දොස් කිව්වේ මලික් සමරවික්‍රම ඇමැතිවරයා කළ යෝජනාවට බවත්ය.
තීරණයක් ගැනීමට නොහැකි යෝජනා ගැන අගමැතිවරයාගෙන් යුත් අනු කමිටුවක් හරහා සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බව ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී සඳහන් කළ බවත් එහිදී අගමැතිවරයා එම කමිටුවේ ව්‍යූහය කෙසේද යන්න ප්‍රශ්න කළ බවත් එහිදී ඊට ජනාධිපතිවරයා පිළිතුරු දුන් බවත් අමාත්‍යවරයා පැවසී ය.
කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාට සඳහන් කළේ “මේවා ඉක්මනට ඉවර කරමු අපි එකතු වෙලා වැඩ කරමු. එම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් කළ යුතුයි. “ බව යැයි රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.
මෛත්‍රීගෙන් රනිල්ට දොස්
කෙසේවෙතත් ආර්ථික කළමනාකරණ අමාත්‍ය කමිටුව අහෝසිකිරීමට ජනාධිපතිවරයා විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළේය. එසේ තිබියදීත් තවදුරටත් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ කටයුතු සිදුව ඇති බැවින් ජනාධිපතිවරයා මෙසේ අගමැතිවරයාට දෝෂදර්ශනයට ලක් කර ඇති බවද වාර්තාවේ.
ජනාධිපතිවරයා මෙසේ දෝෂදර්ශනයට ලක් කර තිබෙන්නේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ තීන්දුව සති දෙකකට කාලයක් ලබා දෙන ලෙසට සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා සිදුකළ ඉල්ලීමෙන් පසුවය.
ආර්ථිකය මෙහෙයවීම කළ යුත්තේ කැබිනට් මණ්ඩලය බැවින් එලෙස කාලය ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව රජයට පණිවුඩයක් ලබා දුන් බවත් ඒ පණිවුඩය තේරුම් ගෙන රජය වෙනස් විය යුතු බවත් ඒ වෙනස දැන් සිදුකරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට තිබේ.
"ආර්ථික කමිටුව දැන් අහෝසියි. ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශවලින් එන කැබිනට් පත්‍රිකා ජාතික ආර්ථික සභාවට ආවට පස්සේ දීර්ඝව කතා කරන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකා තිබෙනවා නම් අගමැතිවරයාගෙන් යුත් අනු කමිටුවකට දාලා නැවත ආර්ථික සභාවට එවන්න ඕනෑ." යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.
එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ ජාතික ආර්ථික සභාවේ සංයුතිය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි. එම සංයුතියේ කිසිදු ගැටලුවක් නොමැති බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවට ඕනෑම ඇමැතිවරයකුට එක්වී කටයුතු කළ හැකි බවත් ප්‍රකාශ කොට තිබේ.
ආර්ථික කළමනාකරණ කමිටුවේ ක්‍රියාවලියත්, ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවන වැඩසටහන් පිළිබඳවත් දැඩි විවේචනයට ලක් කරමින් ජනාධිපතිවරයා මෙසේද පවසා ඇත.
"රටේ ආර්ථිකය ඉවරයි, රටේ ආර්ථිකය හසුරුවන්න මට දෙන්න කියලා කිව්වා. නමුත් ඒක පිළිගන්නේ නැහැ. මේ වැරැදි ආර්ථික ගමන එක්ක රට මේ විදියට ගෙනියන්න බැහැ. මට කරුණු 100ක් වුණත් පෙන්වන්න පුළුවන්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරන්න ජපානයේ සමාගමකට පවරලා තිබුණේ ඒ සමාගම ගැන හරියට හොයලා බලන්වෙත් නැතිවයි. මං ජපානයේ සංචාරය කරද්දී දැන ගත්තේ ඒ සමාගමේ අය මේ වෙද්දී ඉන්නේ සිරගත වෙලා කියලා.
මට ගැටලුව තියෙන්නේ පෞද්ගලික කාරණයක් හෝ පුද්ගලයකු සම්බන්ධයෙන් නෙවෙයි. ප්‍රතිපත්තිමය කරුණු නිසා" යැයිද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
අගමැතිගේ කමිටුව අහෝසියට ජනපතිගෙන් හේතු 4ක්
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කළ කැබිනට් සංදේශයේ ඊට හේතුව ලෙස කරුණු 04ක් ඉදිරිපත්කර තිබේ.
අදාළ අමාත්‍යාංශ සහ ආයතන සමග නිසි සහයෝගිතාව සහ උපදෙස් ලබා නොගැනීම, තීරණ ගැනීමේදී ප්‍රමුඛතා හඳුනා නොගැනීම, ආර්ථික යෝජනා අවශ්‍ය පරිදි නිසි පරිදි සහ ක්‍රමවත් පරිදි සකස් නොකිරීම, ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විධිමත් සම්බන්ධීකරණයක් නොමැතිවීම යන කරුණු එහි ඇතුළත්ය.
අමාත්‍යාංශ මට්ටමින් ගතයුතු තීරණද ආර්ථික කළමනාකරණ කමිටුවට යොමුකිරීමෙන් අනවශ්‍ය ලෙස කාලය වැයකිරීමක් සිදුවන බවත්, රටේ ආර්ථිකය සහ ජනතාව වෙනුවෙන් තමා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද අදාළ සංදේශයේ සඳහන්ය.
ආර්ථික කළමනාකරණය සඳහා එක් ආයතනයක් පමණක් තිබිය යුතුයැයි ජනතා විශ්වාසය බවත්, ඒ අනුව ජනාධිපතිවරයා යටතේ ඇති ආර්ථික සභාව ඉහළම ආයතනය වන බවද ජනාධිපතිවරයා මෙම කැබිනට් සංදේශයේ සඳහන් කර ඇත.
ඒ අනුව ආර්ථික කළමනාකරණ කමිටුව සහ ඒ හා සබැඳි සියලුම කමිටු ඒකක සහ ක්‍රියාවලි අහෝසිකිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා යෝජනාකර තිබේ.
ඉහළ ආර්ථික යෝජනා සඳහා වන පත්‍රිකා පමණක් සාකච්ඡා කිරීමට අනුකාරක සභාවක් පත්කළ හැකිබවද ජනාධිපතිවරයාගේ සංදේශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply