Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » අපේ අයියා කාටවත් කරදරයක්‌ නැති කෙනෙක්‌ - පැති කන්නාඩියකින් ඇවිලුණු ජාතිවාදී ගින්නේ ඇත්ත කතාව...


සිංහල දෙමළ මුස්‌ලිම් බර්ගර් යන සියලු ජාතින් ශ්‍රී ලාංකික වැසියන් බව අප කුඩාකල සිටම අසා ඇත්තෙමු. තවද මුස්‌ලිම්වරු ලංකාවට පැමිණ ඇත්තේ වෙළෙඳුන් ලෙස බවත්, ඒ පැමිණීමේදී මුස්‌ලිම් පිරිමින් පමණක්‌ම පැමිණි බවත් අප අසා ඇත්තෙමු. ලංකාවේ පදිංචි වු ඔවුන්ගේ දරුවන්ගේ මව සිංහල කාන්තාවක බවද , පියා මුස්‌ලිම් පිරිමියකු බවද අසා ඇති කල මේ ඇණ කොටා ගනිමින් ද්වේශසහගත ගැටුම් ඇති කර ගන්නේ තමන්ගේම පවුල්වල එකිනෙකා බවත් සිතට නැගෙන්නේය. ඒ වග සිහියට නගන්නට හොඳම සාක්‌ෂි මේ අදටත්, කන්ද උඩරට මුස්‌ලිම් ජනතාවගෙන් බහුතරයක්‌ සතු පෙළපත් නාම සටහන උපයෝගි වන්නේය. එවන් පසුබිමක සිට මේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ප්‍රචලිත කළේ කන්ද උඩරට පදිංචිකරුවන් නොවන වගට මේ වන විට කරුණු කාරණා හෙළිව ඇත්තේය. 

වසර දෙසියයක අතීතයේ පටන්ම මාර්තු මාසය සිරිලක කිසියම් හෝ අර්බුදයක්‌ පැවැති කාල වකවානුවක්‌ බව ඉතිහාස පොත පත සනාථ කරයි. උඩරට කැරැල්ලට හරියටම වසර දෙසියක්‌ සපිරෙන මොහොත වන විට මේ 2018 මාර්තු ඇරඹුමෙහිම කන්ද උඩරට මහනුවර නැවතත් ඵෙතිහාසික සටහනක්‌ තබමින්, දින පහක්‌ පුරා වරින් වර ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කරමින් ආරක්‌ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන්නාවූ කාලවකවානුවක්‌ ඇති වූයේ ඉතා සුළු සිද්ධියක ඇරඹුමක්‌ සමගය. එහි ඇරඹුමෙහි කතාව තෙල්දෙණිය කරල්ලියද්දේ පීටර් අප්පුහාමි විස්‌තර කළේ මෙසේය. 

ඇරඹුම

"ඔය සිංහ ෂෙඩ් ඒක අයිති විඡේසිංහ මහත්තයාට. විඡේසිංහ මහත්තයා බොහොම නිවිච්ච කෙනෙක්‌. රණ්‌ඩුවකට යනවා තියා තමන් ළඟ ඉන්න සේවකයකුටවත් බණින්නේ නැහැ. ෂෙඩ් එකේ බවුසරය කාලයක ඉදන්ම වැඩකළේ, කුමාරේ. ඒ කියන්නේ එච්.බී. කුමාරසිංහ. මනුස්‌සයත් එහෙමට රණ්‌ඩුවකට යන මනුස්‌සයෙක්‌ නොවෙයි. හැබැයි පහුගිය විසිදෙවැනිදා රෑ බවුසරේ එන කොට ත්‍රීවීල් එකකට ඉස්‌සර කරන්න දීලා නැහැ කියලා කියනවා. ඒකේ ඇවිත් තියෙන්නේ කෙංගල්ලේ කොත්තු කඩේ වැඩ කරන ළමයි. වයස අවුරුදු විස්‌සක්‌ විසිදෙකක්‌ විතර වන මේ ළමයිනුත් දිගින් දිගටම ඉස්‌සර කරන්න උත්සාහ කරලා. ඔය වෙලාවට දෙගොල්ලොම ඉන්නේ දවසම මහන්සි වෙලා හෙම්බත් වෙලා ලේ ටිකත් රත් වෙලානේ. කොලුකමට කට්‌ටියම රණ්‌ඩු කරන්න ඇති. වැඩේ දුර දිග ගියේ, බවුසරේ කුමාරේ ඉස්‌පිරිතාලෙ නතර කළාමයි. ...."

තෙල්දෙණිය නගරයේ සිංහල ඉන්ධන පිරවුම් හල අසලදී පෙබරවාරි 22 දින බීමත් මුස්‌ලිම් සිව්දෙනෙකු අතින් පහර කෑමට ලක්‌වූ බව කියන අම්බාල පුවක්‌ගහදිවෙල පුස්‌ගෝවිට පදිංචි හතළිස්‌ එක්‌ හැවිරිදි දෙදරු පියකු වන එච්.බී කුමාරසිංහ මහනුවර ශික්‌ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූයේ ඉකුත් මාර්තු දෙවැනිදාය. මෙම පහර දීමට සම්බන්ධ බවට අනාවරණයවූ සිව්දෙනා අතරින් එක්‌ අයකු සිද්ධියවූ දිනට පසුදින තෙල්දෙණිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන් දින දෙකකට පසු තවත් දෙදෙනෙක්‌ පොලීසියට බාර වූහ. අනෙක්‌ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය උනන්දු නොවන බව කියමින් ප්‍රදේශවාසීන් නොයෙක්‌ වර පොලීසියට දෝෂාරෝපණය කළහ. කුමාරසිංහගේ මරණය සිදුවූ දින එම පුද්ගලයාව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් නමුත් ඒ වන විටත් පොලීසියේ පරීක්‌ෂණ සම්බන්ධව තරමක කුකුසක්‌ ප්‍රදේශවාසීන් තුළ මතුව තිබිණි.

එවන් කුකුසක්‌ අතර මෙවන් ප්‍රචාරද ප්‍රචලිත වූයේ එම දිනයන්හිදීමය. ඒ වග මොරගහමුල සුනිල් කියා සිටියේ ය. "ඔය පහර දුන්නා කියන උදවියගේ කට්‌ටිය කුමාරේගේ මිනිය ගෙදර තියෙද්දී සල්ලි වගයක්‌ අරං ගිහින් තියෙනවා. මළගෙදරට ඇවිත් තියෙනවා කුමාරගේ ඥාති වන හාමුදුරුවෝ කෙනෙක්‌. එයා එකහෙළාම මුදල් ප්‍රතික්‌ෂේප කරන ලෙස ගෙදර කට්‌ටියට කියලා තියෙනවා. මේ අතරේ මිනිය ගෙදර තියෙද්දීම අර පහර දුන්න ළමයින්ගේ ඥාතියකුගේ කඩේට ගිනි තියලා. ඒ ගිනි තිබ්බේ අපේ ගම්වල ඉන්න කවුරුවත් නෙවෙයි කියලා අපට හොඳටම විශ්වාසයි. මොකද කඩයක්‌ ගිනි තියන්න තරම් හයියක්‌ තියෙන කෙනෙක්‌ මෙහෙ නැහැ. අනුන්ගේ සැපතට ඊරිසියා කරන එක පවක්‌ කියලා මෙහෙ ඉන්න හැමෝම දන්නවා. අනික අපේ ගමේ හැමෝම එකතුයි. තව කාටවත් රිදවන්නේ නැහැ. මේක මුලින්ම කසේ අපි අඳුනන්නේවත් නැති කවුරු හරි තමයි......"

මරණයේ ප්‍රතිඵලය දරුවන්ට මේ කතාබහට එක්‌ වූයේ ඒ. ජයන්ත නම් වූ කුමාරසිංහගේ සහෝදරයෙකි. 

අපේ අයියා කාටවත් කරදරයක්‌ නැති කෙනෙක්‌. කොටින්ම හරියට ඇහෙන්න කතා කරන්නෙවත් නෑ. එයා කාලයක්‌ රට හිටියෙ. ඔය රස්‌සාවට යන්න පටන් අරන් දැන් අවුරුදු එකහමාරක්‌ විතර ඇති. උදේ පාන්දර වැඩට යනවා. මහ රෑට ගෙදර එනවා. එයාට යාළුවෙක්‌ ආශ්‍රය කරන්නවත් වෙලාවක්‌ නෑ. ඒක හින්දා මට හොඳටම විශ්වාසයි, මෙතැන වෙන කිසිම පෞද්ගලික ප්‍රශ්න මොකුත් නෑ කියලා.

දැන් අපිට වෙන්න තියෙන දේ වුණා. අයියා අපිට නැති කළා. අපි ඉල්ලන්නෙ මේකට සම්බන්ධ අයට උපරිම දඬුවම් දෙන්න කියලා. පහුගිය දවස්‌ ටිකේ ඒ ගැන අපිට සැකයක්‌ තිබුණා. ඒත් දැන් මේක උසාවිය ඉදිරියේ තියෙන හින්දා සාධාරණයක්‌ වෙයි කියලා විශ්වාසයක්‌ තියෙනවා. 

අපි ඉල්ලන්නෙ මේ සිද්ධිය හින්දා අපේ මිනිස්‌සු ඇණ කොටා ගන්න එක නතර කරන්න කියලා. මේකෙන් පස්‌සෙ කීදෙනෙක්‌ නැති වුණාද. ඒ මරණවලට කවුද වගකියන්නෙ. අපේ පන්සලේ හාමුදුරුවොත් අපිට කිව්වෙ අයියාගෙ මිනිය කොහෙවත් ගෙනියන්න දෙන්න එපා කියලා. අපි අයියාව පවුලේ සුසාන භූමියෙ මිහිදන් කළා. අයියගෙ මිනිය ගේනකොටත් ප්‍රශ්න ආවා. දිගන ටවුන් එකේ මිනිය තියාගන්න හැදුවා. පොලිස්‌ ජීප් එකක්‌ ආපු හින්දා තමයි මිනිය ගෙදරට ගේන්න පුළුවන් වුණේ. නැත්නම් අයියගෙ මිනිය පාරවල් ගාණෙ කුණු කරයි.

අපිට සල්ලි දෙන්න හැදුවා, අපි ලක්‌ෂ දෙකක්‌ ගත්තා වගේ බොරු කතා මාධ්‍යවලිනුත් පැතිරෙව්වා. ෆේස්‌බුක්‌ එකේ බොරු දැම්මා. අයියගෙ මළ ගෙදරට සෙනඟ ආවා තමයි. මේ දුෂ්කර පැත්තට කවදාවත් ආවෙ නැති අය අයියගෙ මළගෙදරට ආවා. ඒ ගොල්ලන්ගෙන් අපි සල්ලි ගත්තෙ නෑ. හැබැයි ඒ ගොල්ලො පස්‌සෙ අයියගෙ මිනිය අරන් යන්න ඉල්ලුවෙත් නෑ. සමහර මාධ්‍යවල ගියේ අයියගෙ මිනිය ටවුන් එකට අරන් ගියා කියලා. හිස්‌ පෙට්‌ටියක්‌ මිනිය වගේ අරන් ගියා කියලත් බොරු කිව්වා. ඇයි මේ විදිහට මිනිස්‌සු ඇවිස්‌සුවෙ.

මං ඉල්ලීමක්‌ කරනවා, අයියගෙ ළමයි දෙන්නෙක්‌ ඉන්නවා. එක්‌කෙනෙකුගෙ වයස දහතුනයි. අනෙක්‌ එක්‌කෙනාට එකොළහයි. පොඩි පුතාට ආබාධිත තත්ත්වයකුත් තියෙනවා. අම්මාට බෙහෙත් ගන්න මාසෙකට ලොකු ගාණක්‌ යනවා. නංගි රස්‌සාවක්‌ කරන්නෙත් නෑ. සහෝදර-සහෝදරියො විදිහට අපිට වුණත් උදව් කරන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා. ඇත්ත කතා කරන්න ඕනනෙ.

අයියා රට ගිහින් අවුරුදු හයක්‌ හිටියා. ඒ හම්බකරපු සල්ලි ඔක්‌කොම වියදම් කළේ ඔය අසනීපවලට තමයි. ඒක නිසා අයියට උදව් කරන්න ඇත්තටම ඕනෙ නම් මේ ළමයින්ට උදව්වක්‌ කරන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා."

ගිනිදැල් පැතිර යයි

මියගිය කුමාරසිංහගේ දේහය පුස්‌ගෝවිට ග්‍රාමයට රැගෙන යන අතර තුර කිසියම් පිරිසක්‌ ප්‍රධාන මාර්ගයේ ටයර් පුළුස්‌සා විරෝධතාවක්‌ දක්‌වා තිබූ අතර එය ජාතිවාදී ගැටුමක්‌ ඇති වීම සඳහා වන පෙර නිමිත්තක්‌ බව හඳුනාගත් බුද්ධි අංශ ඒ පිළිබඳ ඉහළට වාර්තා කර තිබිණි. අවසන් කටයුතු සිදුවූ දින අලුයම මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථානයක්‌ ගිනිබත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් විසිපස්‌දෙනකු අත්අඩංගුවට ගැනීමට තෙල්දෙණිය පොලීසිය ක්‍රියාකළේ මේ අතර තුරය. ඉන් ප්‍රකෝපවූ පිරිස්‌ එම පිරිස නිදහස්‌ කරන ලෙස පොලීසියට බල කරමින් තෙල්දෙණිය නගරයේ නොසන්සුන් ලෙස හැසිරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කිරීමය. එතැනින් තත්ත්වය බරපතළ විණි. ව්‍යාපාරික ස්‌ථාන විසිහතක්‌ කඩා බිඳදමා අළුකර දමන්නට කවුරුන් හෝ ගත් උත්සාහය අතරවාරයේ තමන්ගේ වෙළෙඳසල තමන් විසින්ම ගිනිබත් කොට දමන්නට කටයුතු කළ උදවිය ද තෙල්දෙණිය දිගන පෙ දෙස්‌වල සිට ඇත්තේය. ඔවුන්ගේ යටි අරමුණ වී ඇත්තේ මතු ඉදිරි දිනෙක තමාටද නව වෙළෙඳ සැලක්‌ ඉදිකිරීම පිණිස රජයේ ආධාර ලබාගැනීමය. කෑ මකුණා වෙනුවට මකුණන් සියල්ල තලා දමා ඇති බැවින් දැන් සත්‍ය යටපත්ව ඇත්තේය. වර්ග කිරීමට හැකියාවක්‌ ද නැත්තේය. 

හාෆික්‌ගේ මරණය
මේ අලකලංචිය අතරේ දිගන නගරය කේන්ද්‍ර කර ගනිමින් බලගොල්ල හා කෙන්ගල්ල දක්‌වා එල්ලවූ ප්‍රහාරයෙන් ගිනිබත්වූ නිවසක සිරවී මුස්‌ලිම් තරුණයකු මිය ගියේය. විසිහත් හැවිරිදි සම්සුදීන් අබ්දූල් භාෆික්‌ නමැති එම තරුණයාගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ 06 වැනි දින පෙරවරුවේය. ඒ සමගම යළි මහනුවර පොදු මහත් ජනතාව තැති ගත්තේ අනතුරක සේයාවක්‌ ඇදී ඇති බැවිනි. යළි ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී, කවුරුන් හෝ පිරිසක්‌ විසින් මඟ දෙපස වූ මුස්‌ලිම් වරුන්ට අයත් වෙළෙඳසල් ගිනිබත් කළෝය. නත්තරම්පොත කුණ්‌ඩසාලේ දිගන තෙල්දෙණිය මැණික්‌හින්න දක්‌වා තැන තැන ගිනි තැබීම් සිදු වූයේ කවුරුත් බලාපොරොත්තු නොවූ පරිදිය. 

සම්සුදීන්ගේ මරණයද කම්පා කරන්නකි. ආබාධිත මවත් වයෝවෘද්ධ පියාත් රැකබලා ගනිමින් තමන්ගේම නිවහන ඉදිරිපස ජංගම දුරකථන අලෙවිසළක සේවය කරමින් සිට ඇති ඔහුගේ මරණයෙන් මිනිසත් බව කුරිරු වූ කල යළි පීඩාවට පත්වන්නේ මිනිසුන්ම නොවේදැයි ඒත්තු ගන්වන සිතුවිලි මතුවිණි. මියගිය සම්සුදීන්ගේ පියා වන ෆයාස්‌ සම්සුදීන් තම පුතුගේ හදිසි වියෝවෙන් දැඩිව කම්පා වී සිටියේය. ඔහු අප හා මෙසේ කීය. 

"මගේ නෝනා ආබාධිතයි. ඇවිදගන්න එයාට අමාරුයි. මමත් බයිපාස්‌ එකක්‌ කරලා ඉන්නේ. එකපාරටම කට්‌ටියක්‌ ගෙට කඩාගෙන පැනලා ගිනි තිබ්බා. අපිට එළියට පලයව් කිව්වා. මම නෝනව අරන් එළියට ආවා. ලොකු පුතා ගින්දරට අහුවෙලා හොඳටම පිච්චිලා. එයා ගෙයින් එළියට පැන්නේ ගින්දර එක්‌කමයි. දැන් එයා නුවර 11 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබනවා. ගින්දර එක්‌කම ගෙදර සොල්දරේ කඩාගෙන වැටුණා. දුමෙන් පැත්තම වැහිලා ගියා. පොඩි පුතාට එළියට එන්න බැරි වුණා. එයාගේ බොඩි එක හොයා ගත්තේ පහුවදා. අපි අහිංසක මිනිස්‌සු. කාටවත් වරදක්‌ කරලා නැහැ. අපේ ගෙවල් අවට ඉන්න සිංහල මිනිස්‌සු කවදාවත් අපට මේ වගේ කරදර කරන්නේ නැහැ. අපි එකට කාලා බීලා ඉන්න අය. මියගිය සිංහල තරුණයාවත් එයාට ගහපු මුස්‌ලිම් අයවත් කවුද කියලා අපි දන්නේ නැහැ. කවුරු කළත් මිනිස්‌සු මරණ එක වැරදියි. එකට ඉන්න අපි මේ විදිහට ගහ මරා ගන්නේ ඇයි. අපේ මුස්‌ලිම් අය බොහෝ දෙනකුට තියෙන්නේ සිංහල වාසගම්. මගේ ලොකු පුතා පල්ලියේ පූජකවරයෙක්‌. එයා බන්ධනාගාරයටත් යනවා දේශන තියන්න. අපි සිංහල, මුස්‌ලිම්, දෙමළ භේදයක්‌ නැතුව ඉන්නවා...."

අර්බුදය පැතිර යැම

දිගනින් සුළු සිද්ධියක්‌ වටා ඇරඹි මෙම ප්‍රහාරයන් කටුගස්‌තොට, අඹතැන්න, පූජාපිටිය, මඩවල, මැණික්‌හින්න, අලදෙණිය, සෙනරත්ගම, අඹතැන්න, යටියාවල, මුල්ලේගම, පූජාපිටිය, උල්ලදුපිටිය, අකුරණ, පිළිමතලාව, උඩතලවින්න ආදී ප්‍රදේශ ගණනාවක්‌ පුරා ව්‍යාප්තවූ අතර ඇඳිරි නීතිය පනවා හෝ එම ගැටුම් පාලනය කිරීමට පොලීසියට නොහැකි වූ ස්‌වභාවයක්‌ දක්‌නට ලැබිණි. ගැටුම් වලින් සිංහල තරුණයකු හා මුස්‌ලිම් තරුණයකුට දිවි අහිමිවූ අතර අඹතැන්න පෙට්‍රල් බෝම්බ එල්ල කිරීමෙන් අඹතැන්න කළුවාවල පදිංචිව සිටි ගුණරත්න බණ්‌ඩාද මිය ගියේය. තවත් අටදෙනකු පමණ තුවාල ලැබ තිබිණි. නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස්‌ දියත් කළ ප්‍රහාරයන් හේතුවෙන් ආගමික ස්‌ථාන හතරක්‌, වෙළෙඳසල් හතළිස්‌ හතරක්‌ නිවාස තුනක්‌ සහ ත්‍රිරෝද කාර්රථ බයිසිකල් ඇතුළු වාහන දහ අටක්‌ පමණද විනාශ වී තිබිණි. මෙය සටහන් කරන අවස්‌ථාව වන විටද ප්‍රචණ්‌ඩ ක්‍රියා සම්පූර්ණයෙන් පාලනයවී නොතිබිණි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply