container වැලන්ටයින් වෙනුවෙන් සමරිසියෙකුගේ ආදරණීය යාඥාව - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » වැලන්ටයින් වෙනුවෙන් සමරිසියෙකුගේ ආදරණීය යාඥාව


1983 වර්ෂයේ එක්තරා දවසක බොබී ග්‍රිෆිත් නම් තරුණයෙක් අධිවේගී මාර්ගයක්ට ඉහළින් තිබෙන පාළමක් මතට නගින්නේ මුළු මහත් සමාජයටම වෛර කරන්නෙක් විදියට.උපත ලැබූ විදිය වෙනස් කරන්න කියලා ලෝකය බල කරද්දී, ආගමට අනුව ජීවත්වෙන්න කියල පවුලේ අය විසින් බල කරද්දී, අපායට තමයි යන්න වෙන්නෙ ඔය ඇබ්බැහිය නැවැත්තුවේ නැත්නම් කියල පල්ලිය බලකරද්දී බොබීට දැනුනෙ එකම එක දෙයයි. ඒ ඔහු මේ සමාජයට අයිති කෙනෙක් නෙවෙයි කියන අදහස.
බොබී සීරුවෙන් පාළමට නගිනව. ඇස්දෙක පියාගන්නවා. ඔහුට දැනෙනව පහළින් වේගයෙන් වාහන යන විදිය. අධිවේගී මාර්ගය ගොඩක් කලබලයි. බලාපොරොත්තු එක්ක ජීවත්වෙන කැලිෆෝනියාවෙ මිනිස්සු අධිවේගයෙන් මුදල් පස්සෙ එළවනවා. ජීවිතය පස්සෙ එළවනවා. මේ හැමදේම බොබී දන්නවා. ඒත් බොබීට මේ කිසිම දෙයක් වැඩක් නැහැ. ඔහුට මතක්වෙනව ඔහු නිදිපෙති බීලා මැරෙන්න ඔන්න මෙන්න විඳවලා ජීවිතය බේරගත්ත විදිය. ඔහුට මතක් වෙනව තමන් වෙනස් කෙනෙක් කියල ඔහු අම්ම එක්ක කියපු විදිය. අම්මගේ මූණ ටිකෙන් ටික වෙනස් වුණ හැටි. වේගයෙන් ආපු හුළං පාරක් හොස් ගාලා ඇවිත් දඩාස් හයියෙන් දොරක් වහල දැම්ම වගේ අම්ම ළඟ තිබුණ පුටුවට කඩන් වැටුන හැටි. ඔහුට මතක් වුණා අම්ම ඔහුව පල්ලියට බලෙන් වගේ ඇදගෙන ගියපු හැටි. අල්තාරය මත කවුරුවත්ම හිටියෙ නැහැ. දෙව් සමිඳුන්ගෙ කරුණාබර ඇස්දෙක තමන් දිහා බලන් ඉන්නවා කියල බොබීට දැනුනෙත් නැහැ. ඒත් දේවගැතිතුමා එක්ක අම්ම මොනවදෝ කුටු කුටු ගානව ඇහුණ. පාදර්ගෙ මූණ ටික ටික වෙනස් වෙනව. ඇස්වලින් දීප්තිමත් ගින්දරක් පිටවෙලා නැතිවුණා. “දන්නවද බොබී, උඹ මහ පව්කාරයෙක්. දෙවියන් වහන්සේ නම් උඹට සමාව දෙන්නෙ නෑ.ලෙවිටිකස් 18:22 වගන්තිය කියවපන්. උඹ නවතින්නෙ අපායෙ. පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක බුදියගන්න එක මහ පවක්. හැබැයි උඹට තාමත් කල් තියෙනව. උඹට පුළුවන් යාඥා කරන්න. උඹ වෙනුවෙන්ම. උඹේ පවුකාර ජීවිතය වෙනුවෙන්. දෙවියන් වහන්සේ විශ්වාස කරපන්, උන් වහන්සේ උඹට උදව් කරාවි”. පාදර් වේගයෙන් කියවගෙන ගියා. අම්ම බයවෙලා වගේ මගේ දිහා බලන් හිටිය. පාදර්ගෙ වචනයක් වචනයක් ගානෙ මට දැනුනෙ කුළුගෙඩි පාරවල් සීයක් මගෙ ඔළුවට ගහනව වගේ. පිරිමියෙක් ගැන හිතෙන එක, පිරිමියෙක්ව දැනෙන එක, පිරිමියෙක් එක්ක බුදියන්න හිතෙන එක දෙවියන් වහන්සේට අනුව පවක් නම්, ඇයි දෙවියන් වහන්සෙ මට මෙහෙම කළේ කියල අහන්න හිතුනත් මම ඒක ඇහුවෙ නැහැ.
එදා ගෙර ඇවිල්ල අම්ම කරපු දේවල්. අම්ම හිටියෙ පිස්සු හැදිලා වගේ. ඇය කිවුවෙ ඇයගේ මුළු ලෝකෙම කඩන් වැටුනා කියල. ඇයට ගොඩක්ම දැනුනෙ ඇයගෙ පුතා සමලිංගකයෙක් කියන එක නෙවෙයි. ඇයගෙ පුතා සාතන්ගෙ ලෝකෙට යනව කියන එක. ඇයට දැනුනෙ ග්‍රිෆිත් පවුලම සතන්ගෙ උදහසට ලක්වෙලා කියන බය. බයිබලයෙ තිබුණ හැම දේව වාක්‍යයක්ම වගේ ඇය කොළ කෑලිවල ලියල මට පේන්න හැමතැනම ඇලෙව්ව. නිදන කාමරේ, අල්මාරියෙ, පාඩම් කරන මේසෙ, කෑම මේසෙ, කුස්සියේ, ශිතකරණයෙ දොරේ විතරක් නෙවෙයි නාන කාමරේ කණ්නාඩියෙත් අලවල තිබුණෙ දේව වාක්‍ය.
දෙවියන් වහන්සේට නැඹුරු වෙන්න කියල බල කරද්දී, දේව වාක්‍යයන් කියවල යාඥා කරන්න කියල බල කරද්දී මට දෙවියන් වහන්සේ පේන්න ගත්තෙ සාතන් විදියට. පුස්තකාලයට ගිහිල්ල එද්දී මම දිහාම බලන් හිටපු අර ලස්සන ඇස් දෙකේ අයිතිකාරයා, ඔවු ඒ අයිය මතක් වෙත්දී දෙවියන් වහන්සේ මගෙන් ගොඩක් ඈතට යනව. එයා මගේ දිහා බලන් හිටියෙ වෙනස්ම විදියකට. නිල් පාට ඇස්දෙකෙන් මට ආදරෙයි කියලද කිවුවෙ. එයා මහතත් නෑ. කෙට්ටුත් නෑ. හරිම ප්‍රියමනාපයි. එයාව මතක්වෙත්දී නොදැනිම අවදිවන රහසග පාලනය කරගන්න බැරිම තැන, ඇදගෙන හිටපු ෆිජාමා එක පහත් කරත්දීම ඔන්න දෙවියන් වහන්සෙයි සාතන්ගෙයි මූනු දෙකම සම සමානව කලවම් වුන මූනත් පේන්න ගන්නව. ඇදේ ඉදල කෙලින්ම බලද්දී බෝල කූඩුවක එල්ලලා තියෙන පුංචි සුරුවම හිමිහිට හෙළවුනේ මට ඔච්චම් කරන්න වගේ. අම්ම මම ගැන තාත්තටයි, අයියටයි, අක්කටයි කියල තිබුණ. ඒ ගොල්ලො මුලදි කම්පා වුණාට පස්සෙ පස්සෙ මම කියන දේට වැඩිය ඇත්ත දෙයක් තියෙනවා තියල තේරුම් ගන්න පටන් ගත්ත.
ඒත් අම්ම වෙනස් වුණේම නැහැ. මුලදි මුලදී ඇය ගැන මට අනුකම්පාවක්, මහ දුකක් වගේම මම ගැන කාලකන්ණි හැඟීමක් ඇතිවුණත් පස්සෙ ඇය ගැන මට ඇතිවුනේ තරහක්. තරහ එන්න එන්නම වැඩිවෙන තරමට ඇය මට බලහත්කාරයෙන් දෙවියන්ට ළංවෙයන් කියල බල කළා. ඒ දවස්වල අපේ ගෙදර එකම පල්ලියක්. සාලෙදී, කෑම මේසෙදී හැම තැනදිම කතා වුනේ දෙවියන් වහන්සේ ගැන විතරයි. අම්මගේ කරදරෙන් බේරෙන්න වාසනාවට වගේ පෝට්ලන්ඩ්වලට යන්න පුළුවන් වුණා මගේ නෑනා ජෙනට් හිටියෙ එහේ නිසා. එහේ ගියාම මට ගොඩක් නිදහස දැනුනා. මගේ හදවත මට බලකරන, මගේ මනස මගෙන් ඉල්ලන සමරිසි ආත්මය හොයාගන්න, එහෙමත් නැතිනම් මට මාවම හොයාගන්න පෝට්ලන්ඩ්වලදී පුළුවන් වුණා. මම ඇවිද්දා, සතුටින් කාලය ගත කළා. දෙවියන් වහන්සේ මම එක්ක ඉන්නවා කියල මට දැනුනා. මම ආයෙමත් සතුටින්. එහේ මෙහේ ඇවිදිමින් මාව හොය හොයා ඉද්දී තමයි මට ඩේවිඩ් හම්බුණේ. මම එයාට පිස්සුවෙන් වගේ ආදාරය කළා. මට මගේ අල්තාරය හමුවුණා. ඩේවිඩ්ගෙ නිරුවත් පපුවට මූණ තියාගෙන එයාගෙ හදවත ලබ්ඩබ් ලබ්ඩබ් ගානව අහගෙන ඉද්දී මට හිතුණෙ ඩේව්ඩ්ගෙ පපුව කතාකරන්නෙ මම එක්ක කියල. එයා ළඟ හරි අමුතු සුවඳයි. පිරිමි සුවඳ කියන්නෙ ඒකට වෙන්නැති. ඒත් ඩේව්ඩ් වෙන එකෙක් එක්ක ඇවිදිනව දැකපු දවසෙ මට ආයෙමත් මතක් වුණේ අම්මව. අම්ම කියපු දේවල් ගැන. ආයෙත් මම ගෙදර ගියා. හැබැයි ගෙදර යන්න කලින් මම පල්ලියට ගියා. ඒක අම්ම යනව වගේ ඉවැන්ජලිකානු පෙස්බිටීරියන් පල්ලියක් නෙවෙයි. එතැන ගොඩක් වෙනස්. ගමේ පල්ලියට ගියාම දැනුන බර ගතිය එහෙදි දැනුනෙ නෑ. දෙවියන් වහන්සේ ඉන්නෙ මගේ පපුවෙ වම්පැත්තට වෙන්න තියෙන හදවතේ ගැඹුරුම තැනකයි කියලයි මට දැනුෙණ.
මම මාවම හොයාගෙන යද්දී මට තේරුණා මම වැරදිකාරයෙක් නෙවෙයි කියල.මේ මම ඉපදුන විදිය. මගේ කැමැත්ත වෙනස්. ඒත් ඒක හරිම ලස්සන කැමැත්තක්. කෙල්ලෙකුයි කොල්ලෙකුටයි දැනෙන හැඟීමත් මේ වගේ වෙන්න ඇති. එයාලට වගේ නිදහසේ ආදරය කරන්න බැරිවුණත් හැංගිලා හරි ආදරය කරන්න මමත් ආසයි. ඒක මට දැනෙනව. ඒත් ගෙදර ගියාට පස්සෙ ආයෙත් අර පරණම විදිය. අම්ම වෙනදටත් වඩා වධ දෙන්න පටන්ගත්ත. එයා දැනගෙන මට ආදරවන්තයෙක් හිටියා කියල. ගෙදර ආවට පස්සෙ අම්ම මම දිහා බැලුවෙ නිලමැස්සෙ පස්සෙන් එළවන තරම් තුවාලයක් තියෙන කෙනෙක් දිහා බලන විදියට. මට මාව හොයාගන්න ඕන වුණා. හැමතැනම ඇවිද්දත් මට දැනුනෙ උඹ සමලිංගිකයෙක් කියල සමච්චලෙන් මිනිස්සු මම දිහා බලනවා කියන හැඟීම. ලෝකය ගොඩක් වෙනස් විදියට මට දැනෙත්දී මම තේරුම්ගත්තා මේ ලෝකෙ මට නෙවෙයි කියල. මේ ලෝකය මගෙ නෙවෙයි කියල. ඒකෙ ඉන්න පුළුවන් පිරිමින්ට ආදරය කරන ගෑනුන්ටයි, ගෑනුන්ට ආදරය කරන පිරිමින්ටයි විතරයි.
මේ හැමදේම මතක්වෙත්දී මට ආයෙමත් දැනෙනව පාළමට පහළින් වේගයෙන් වාහන යන විදිය. එක පැත්තකට. මහ හයියෙන්. ගිඩිගිඩි ගාලා ගැහෙන්න ගත්ත මගෙ පපුව. මම මැරෙන්නද හදන්නෙ. ඇස්ප්‍රීන් බීලාත් මැරෙන්නෙ නැතුව බේරුනේ දෙවියන් වහන්සේට හිතෙන්න ඇති මට අවස්ථාවක් දෙන්න ඔන කියල. නෑ නෑ දෙවියන් වහන්සේ තමයි මම මෙහෙම ඉපැද්දුවේ. මම මෙහෙම උපද්දවලා, මට ආදරය කරන, මාව තේරුම්ගන්න පුළුවන් විදියට සමාජය වෙනස්කරන එක උන්වහන්සෙ කළේ නැහැ. ඇස් දෙක තදකරගෙන පහළට පනිද්දී මට දැනුනෙ හරිම සැහැල්ලුවක්. තප්පර ගාණකදී මට මාව දැනෙන්න ගත්ත. අනේ මට මැරෙන්න බැහැ. මට ජීවත්වෙන්න ඕන.ලොකු හුළං පාරක් කන හරහා කපාගෙන වගේ යද්දී මට ඇහුණෙ බ්රාස් ගාලා ගහපු බ්‍රේක් සද්දයක් විතරයි. පොඩ්ඩක් ඇස් ඇරල බලද්දී, ලොකූ ට්‍රක් එකක්. මට ගොඩක් රිදෙනව. මුකුත්ම දැනෙන්නෙ නැහැ. මුළු ඇගම හිරිවැටිල වගේ. අම්මා, තාත්තා, අක්කා, අයියා මට සමාවෙන්න. අනේ මම අපරාධකාරයෙක් නෙවෙයි."
* * * * * *
මේරි ග්‍රිෆිත් නැත්නම් බොබීගෙ අම්ම සමරිසිභාවය කියන්නෙ ඇත්තටම මොකද්ද කියල හොයන්න පටන්ගන්නෙ බොබීගෙ මරණයත් එක්ක. ඇයට ඕන වෙනව ඇත්තටම ඇයගෙ පුතා අපායට ගියාද කියල දැනගන්න. ඇය පල්ලි ගැනෙ ඇවිදිනව. එක දවසක් ඇයට අහම්බෙන් දැනගන්න ලැබෙනව සමරිසි අයව පිළිගන්න, ඔවුන්ගේ යාඥාවලට සවන්දෙන පල්ලියක් ගැන. ඇය එහි යනව. පල්ලියේ ෆාදර් සමග වාද කරනව. ඇයට කටපාඩම් වෙලා තියෙන බයිබලයෙ පාඨයන් සියල්ල ප්‍රශ්න කරනව. ඇයට ලැබෙනව නිවැරදි පිළිතුරක්. බයිබලය කියන්නෙ දෙවියන් වහන්සේ නෙවෙයි. දෙවියන් වහන්සේ විසින් දේශනා කරන්න ඇති කියල හිතාගෙන ලියල තියෙන දාර්ශනික කෘතියක්. ඇයට සමරිසිභාවය ගැන වෙන අර්ථකරන ලැබෙනව. ඇය තේරුම් ගන්නවා ඇයගේ ආදරණිය බොබී නිවැරදි කෙනෙක් කියල.බොබීගෙ ආත්මය සුවපත් කරන්න ඇයට ඕන. ඒ වෙනුවෙන් ඇය හඬනගන්න පටන්ගන්නවා. ඇමෙරිකාවේ සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයට ඇයගෙ සහයෝගය ලබාදෙමින්. ජීවිතය අපායක් කරගන්නෙ නැතුව, තමන්ගෙ පුතා වගේ ලක්ෂ සංඛ්‍යාත පුතාලා දුවලා වෙනුවෙන් ලෝකයක් එක්ක සටන් කරන්න ඇය පාරට බහිනව. ඇය දකිනව තමන් වගේම තවත් අම්මල තාත්තාලා තමන්ගෙ දරුවන්ගෙ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින හැටි. එක දවසක් උදාවෙනව, ලෝකයේ සමරිසි ඉතිහාසය ලෙයින් කඳුලින් පිරිච්ච ඉතිහාසයක් වුණත්, වොල්නට් ග්‍රීක් නගර කවුන්සලයට එදා මහ පිරිසක් රැස්වෙලා හිටිය. ඒ සජීවිව රූපවාහිනියෙ පවා විකාශනය වන සමරිසි අයගේ අයිතිවාසිකම් ගැන කතා කරන සමුළුවක්. බොබී වෙනුවෙන්, ලෝකය පුරා විසිරී සිටින, තමන්ගෙ හදවතට දැනෙන ආදරය වෙනුවෙන් හඩන, වැළපෙන, ගුට්කන, දූෂණය වෙන, හිරබත් කන, මරා දැමෙන ලක්ෂ සංඛ්‍යාත සමරිසියන් වෙනුවෙන් ඇය කතා කරනව.
“මගේ පුතේ උඹ වැටිලා ඉන්නේ අපායක. සමලිංගිකත්වය නැමැති නරා වළක. හැබැයි උඹට ඕන නම් ඔය ලෙඩේ සුව කරගන්න පුළුවන්. දෙවියන් වහන්සේ උඹට උදවු කරාවි නැවත සාමාන්‍ය මනුෂ්‍යයෙකු වෙන්නට. බොබී සමරිසියෙකු යැයි දැනගත්තාම මම ඔහුට කිවුවෙ එහෙම. ඔහු සමරිසියෙකු යැයි ඔහුට දැනෙන බව පැවසුවාම ඔහු සුව කරගන්න මම කරන්න පුළුවන් හැමදේම කළා. ඒ්ත් මීට මාස 08 කට උඩදී මගේ පුතා පාළමකින් පහළට පැනලා ජීවිතය නැතිකරගත්තා. .
ඔහු වෙනුවෙන් කළ සෑම දෙයකින්ම පසු අද මම සිතන්නේ මම විසින් ඔහුට කියපු, කරපු සෑම දෙයක්ම පිළිබඳව කලින් සිතුවා නම් කියායි. ඔහු ඔහුගේ ආත්මයම මා හමුවේ දිගහරිද්දී ඔහුට සවන් දුන්නා නම් කියායි. බොබීගේ ආශාව වුණේ ලේඛකයෙකු වෙන්න. ඒ සඳහාම පිහිටපු අහිංසක හදවතක් සහ පිරුණු කරුණාවක් ඔහුට තිබුණා. ඒත් ඔහුගේ හදවත තේරුම්ගන්න තරම් දැනුමක් අපට තිබුණෙ නෑ. රෝද 18කටත් වඩා දිග ට්‍රක් රථයක් ඔහුගේ සිරුර චප්පකරගෙන ගියාටත් පසුව තමයි මම තේරුම්ගන්නෙ සමරිසියන් කියන්නෙ කවුද කියල. බොබී මෙන්ම තවත් දරුවන් බොහෝ ප්‍රමාණයකගේ දෙමව්පියන් වශයෙන් ඔබගෙන් යමක් ඉල්ලා සිටිනවා. ඔබ විසින් කතා කරන සෑම අපහාසාත්මක වචනයක්ම, ඔබ විසින් ඔවුන් වෙත දමා හෙළන සෑම අප්‍රසන්න බැල්මක් මගින්ම සිදුවන්නේ ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් කරන ආදරණීය යාඥාව ඔවුන්ගෙන් දුර ඈතට යාමයි. සමරිසිභාවය යන වචනයට ඔබ තුළ ඇති වෛරය, බය හා නොසලකාහැරීම දෙවියන් වහන්සේගේ ප්‍රේම යාඥාව නිහඬ කරවාවි. එම නිසා ඔබගේ යාඥාවට පෙර සිතන්න. මතක තබාගන්න. ඔබගේ දරුවා සියල්ල අසමින් සිටිනවා.”
Prayers for Bobby: A Mother's Coming to Terms with the Suicide of Her Gay Son, යන නමින් මෙම සත්‍ය කතාව පදනම් කරගෙන Leroy F. Aarons විසින් නව කතාවක් ලියනව. මෙම කතාව පදනම් කරගෙන 2009 වර්ෂයේදී “බොබී වෙනුවෙන් යාඥාවන් ” (Prayers for Bobby) චිත්‍රපටය නිර්මාණ වෙනව. ප්‍රයිම් ටයිම් එමී සම්මානයට, ග්ලෑඩ් මීඩියා සම්මාන ඇතුළු සම්මාන ගණනකට නිර්දේශවන මෙම චිත්‍රපටය අවසානයේ සම්මානනීය චිත්‍රපයටක් වෙනව. චිත්‍රපටයේ එන “ A child is Listening” නම් මේරි ග්‍රිෆිත්ගේ හැඟීම්බර කතාව ලොව පුරා ජනප්‍රිය වෙනව. හැබැයි අදටත් ලෝකය පුරා බොබීගෙ කතාන්දරය එහෙමමයි. බොබී වගේ ලක්ෂ සංඛ්‍යාත සමරිසි ප්‍රජාවක් ඔ‍බගේ පිළිගැනීම, ආදරය හා උපේක්ෂාව ලැබෙනකම් බලාගෙන ඉන්නව. ශ්‍රී ලංකාවෙත් ලක්ෂ සංඛ්‍යාවක් සමරිසියන් බලාගෙන ඉන්නව අද දවසෙ ඔයාලත් එක්කම වැලන්ටයින් සමරන්න. ආදරෙන්. ඔබේ දරුවාට, ඔබේ සහෝදරයාට හෝ සහෝදරියට, මිතුරාට සවන්දෙන්න. ඔවුන් ඔබට සවන්දෙමින් සිටිනව.
- -තුෂාර මනෝජ්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply