Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ජීවිත හයකට ජීවය දන් දී මෙලොව හැර ගිය තිළිණි


ජීවිතයත් මරණයත් අතර අවසන් හුස්ම පොදත් සමඟ හුස්ම ගන්නට වෙහෙසුණු තිළිණි අවසානයේදී තමා සන්තකයේ ඇති මිල කළ නොහැකි අක්මාව, වකුගඩු, අක්ෂි කාච, සහ පාදයේ අස්ථි කොටස් ඇතුළු අවයව රෝගීන් හය දෙනකුට දන් දෙමින් මෙලොවින් සමු ගත්තාය.
අද ඇය ජීවතුන් අතරේ නැත. බෙන්තර හෙට්ටිආරච්චිගේ තිළිණි ජීවන්ති අල්විස් වූ ඇය නමටම ගැලපෙන සේ එසේ බොහෝමයක් මෙරටට තිළිණකොට මෙලොවින් සමුගත්තාය.
අංක 34/13/4 පාදුක්ක “විජේ විමන” කොටිගංගොඩ නම් නිවෙසේ ජීවත් වුණ තිළිණි වයස අවුරුදු විසිහතරක එක් දරු මවකි. ඇය පමණක්ම නොව ඇයගේ සැමියා ද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්විය. තිළිණිත් සමීරත් පුංචි දියණියකගේ මව්පියන් වන්නට වාසනාවන්ත වූවෝය. නමුත් ඒ පුංචි දෝණි මෙලොව තනිකර දමා මෙලොවින් සමුගන්නට තරම් ඔවුහු අවාසනාවන්ත වූහ. මේ වනවිට දෝණිගේ වයස අවුරුදු එකහමාරකි.
රසායනාගාර සහයිකාවක ලෙසින් සේවය කළ තිළිණි තම සැමියා සමඟ මිතුරකුගේ විවාහ උත්සවයට සහභාගී වූයේ පසුගිය 27 වැනිදාය.
උත්සවයේදී තිළිණිත් සමීරත් තම මිතුරන් සමඟ කතාබහ කරමින් විනෝද වූහ. අවසානයේදී ඔවුහු තම අවසන් ගමන ඒමට පිටත් වූහ. පාදුක්ක වෙරගල මාහිංගල මාර්ගයේදී ඔවුන්ගේ යතුරුපැදිය අනතුරකට ලක්විය. අසල්වාසීන් එක්ව වහාම රෝගීන් දෙදෙනා රෝහල්ගත කරනු ලැබුවද ඒ වනවිටත් සමීර මෙලොව හැර ගොස් තිබුණි. පුංචි දෝණිට තාත්තා අහිමි වන්නට ගත වූයේ සුළු මොහොතකි. තිළිණි පසුවූයේ බරපතළ තත්ත්වයකය. ඇයගේ හිසට බරපතළ හානි සිදු වී තිබුණි. ශල්‍යකර්මයකින් වුවද රෝගියා යාථා තත්ත්වයට පත් කළ නොහැකි බව වෛද්‍යවරු තීරණය කළහ. අවසානයේදී කොළඹ ජාතික රෝහලෙන් තිළිණි ජීවන්තිව හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ආපසු එවනු ලැබුවාය. නමුත් තිළිණිගේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට පත්විය. ඇය මරණයේ දොරකඩට පැමිණ සිටියාය. තාත්තා නැති පුංචි දෝණිගේ අම්මා ද ඇය තනිකර මෙෙලාවින් සමුගන්නා කාලය පැමිණ තිබිණි.
මොළය මියගොස් තිබුණත් තිළිණිගේ අවයවයන් නැවත ප්‍රයෝජනයට ගත හැකි බව වෛද්‍යවරු නිර්දේශ කළෝය. ශල්‍යකර්ම මඟින් අවයව දන්දීම සිදු කළ හැකි වුවද ඒ සඳහා තිළිණිගේ භාරකරුවන්ගේ අවසරය සහ අනුමැතිය ලබාගත යුතුව තිබුණි. ඒ වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දැරුවේ හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය ධනුක පද්මරාජ මහතාය. ඔහු තිළිණිගේ මව්පියන්ට යථා තත්ත්වය අවබෝධ කර දුන්නේය.
“මට මගේ දුව නැති වුණා. මට මගේ බෑණා නැතිවුණා. අද අපිට ඉතිරි වුණේ ඒ දෙන්නාගේ දරුවා විතරයි. බෑණා නැති වුණේ ඒ අනතුර සිද්ධ වුණු වෙලාෙවමයි. මගේ දුවගේ ජීවිතය බේරාගන්න වෛද්‍යවරු ගොඩක් උත්සාහ කළා. ඒත්... අන්තිමට දුවගේ මොළය මිය ගිහින් නිසා දුවව බේර ගන්න බැහැ කියලා වෛද්‍යවරු කිව්වා. ඒ වෙනකොටත් මගේ බෑණා මියගිය වෙලාවේදිත් පුතාගේ ඇස් දෙකම අක්ෂි දානයට දන් දුන්නා. ඒකත් එයාගේ ඉල්ලීමක්... ඉතින් වෛද්‍යවරු අපේ දුව ගැන කියද්දීත් අපි ගොඩක් වෙලා කල්පනා කරලා තීරණය කළා දුවගේ අවයව දන් දෙන්න... අපිට අපේ දරුවන් නැති වුණා. ඒත්... අපිට දැන් දැනෙනවා ඒ අය අපිත් එක්කම දැන් ඉන්නවා කියලා. ඒ වෙනුවෙන් හිතලා අපිට හිත හදාගන්න පුළුවන්...” යැයි තිළිණි ජීවන්තිගේ ආදරණීය පියාණන් වූ සුසිල් අල්විස් මාධ්‍යයට පැවසීය.
සුසිල්ගේ අවසරයෙන් වෛද්‍යවරු යුහුසුළුව තම කටයුත්ත ආරම්භ කළහ. ඒ වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය රුවන් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පහළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෝමාගම මූලික රෝහලට එක්රැස් වූහ. ඒ වෙනුවෙන් හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂිකා සුභාෂිණි පඬුවාවල මහත්මිය ඇතුළු හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය කණ්ඩායම් ද කාර්ය මණ්ඩලයේ ද විශාල සහයෝගයක් ලැබුණි.
දිනය ජනවාරි 29 වැනිදා රාත්‍රී 9.30 ලෙසින් සටහන් විය. වෛද්‍ය කණ්ඩායම සූදානම්ය. හෝමාගම මූලික රෝහල සූදානම්ය. මොළය මියගියද ඒ සැත්කමට තිළිණිද අවසානයේදී හදවතින්ම සූදානම් වන්නට ඇත. රාත්‍රී නවයයි තිහට ආරම්භ වුණු සැත්කම පසුදින අලුයම දෙකයි තිහ වෙනවිට සාර්ථක ලෙසින් නිමාවට පත්විය. වසර හැත්තෑ පහක ඉතිහාසයක් ඇති හෝමාගම මූලික රෝහලේ මෙවැනි සැත්කමක් සිදුවුණේ ප්‍රථම වරටය.
“මේ රෝගියා රෝහල්ගත කරද්දිත් හිසට බරපතළ හානි සිදුවීමෙන් මොළය මියගිහිනුයි තිබුණේ. අප රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තමයි මේ රෝගියා හිටියේ. ඒත්... ජීවත් වෙන්න තිබුණේ සුළු කාලයයි. කොළඹ මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ කණ්ඩායම හෝමාගම මූලික රෝහලට පැමිණ අප රෝහලේදී මෙම සැත්කම සිදුකළා. පාදුක්ක රිය අනතුර සිදුවූ මොහොතේ මෙම රෝගීන් දෙදෙනාම හෝමාගම රෝහලට තමයි මුලින්ම ඇතුළු කළේ. ඒ ගෙන එනවිටත් එක් රෝගියෙක් මියගිහින් තිබුණේ. අපි ඉතා යුහුසුළුව කාන්තාව බේරාගන්නට උත්සාහ කළා. නමුත් ඒ වනවිටත් රෝගියා බරපතළ තත්ත්වයක පසුවුණු නිසා අපි රෝගියාව ඉතා ඉක්මනින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා. නමුත් ඒ වනවිට රෝගියාගේ හිස බරපතළ විදිහට හානි සිදුවීමෙන් මොළය මියගොස් තිබුණා. ජීවත්විය නොහැකි රෝගියාව නැවත ජාතික රෝහලෙන් හේමාගම මූලික රෝහලට මාරු කළා...” යැයි හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සුභාෂිනී පඬුවාවල මහත්මිය දේශයට පැවසුවාය.
“කොළඹ මහ රෝහලෙන් අප රෝහලට මාරු කිරීමත් සමඟ අපිත් පුදුම උත්සාහයක් ගත්තා රෝගියාව බේරාගන්න. ඒත්.... අවසානයේදී රෝගියාව ජීවත් කළ නොහැකි බව අපි තහවුරු කළා. ඒ වනවිට රෝගියාගේ අවයවයක් ගැනීමට හැකියාව ඇති නිසා අපි ඒ පිළිබඳව ඇගේ භාරකරුවන්ට දැනුම් දුන්නා. මේ සම්බන්ධව කටයුතු කළේ හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය ධනුක පද්මරාජ මහතායි. අවසානයේදී එම කාන්තාවගේ මව්පියන් මේ සැත්කම සිදුකරන්නට කැමැත්ත ලබාදුන්නා. හෝමාගම මූලික රෝහලේ සිදුකළ පැය පහක සැත්කම ඉතා සාර්ථක ලෙස පසුගියදා අවසන් වුණා...” යැයි වෛද්‍ය සුභාෂිනී පඬුවාවල මහත්මිය පැවසීය.
මෙම සැත්කමින් තිළිණි ජීවන්තිගේ වකුගඩු, අක්මාව, අක්ෂි කාච, පාදයේ අස්ථි කොටස් ඉවත්කරගනු ලැබීය. එමෙන්ම ඒවායින් අක්මාව රාගම මහ රෝහලේ රෝගියකුටත් එක් වකුගඩුවක් කොළඹ ජාතික රෝහලේ රෝගියකුටත්, අනිත් වකුගඩුව මාලිගාවත්ත වකුගඩු රෝහලේ රෝගියකුටත් බද්ධ කිරීමට නියමිතය. එමෙන්ම තිළිණිගෙන් ගනු ලැබූ පාදයේ අස්ථි කෙටස් මිනිස් පටක බැංකුවටත්, අක්ෂි කාච දෙක අක්ෂිදාන සංගමයටත් බාර කෙරිණි. මේ සම්බන්ධ කොළඹ ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය රුවන් දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.
“පැය පහක පමණ කාලයක් ගතකොට ප්‍රථම වරට හෝමාගම මූලික රෝහලේදී අවයව දන්දීමේ ශල්‍යකර්මය කළා. මේ ශල්‍යකර්මයෙන් එම රෝගියාගේ අක්මාව, වකුගඩු, අක්ෂි කාච හා පාදයේ අස්ථි කොටස් මෙසේ ඉවත් කර වෙනත් රෝගීන් සඳහා බද්ධ කිරීමට සූදානම් කරලා තියෙනවා. මෙය ඉතා සාර්ථක සැත්කමක් ලෙසින් නිමාවුණා. ඒ වෙනුවෙන් වෛද්‍ය කණ්ඩායම කාර්ය මණ්ඩලය මෙන්ම හෝමාගම මූලික රෝහලින්ද විශාල සහයෝගයක් ලැබුණා. වසරකට හත්දාහක් පමණ රෝගීන් අක්මා සහ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් මිය යනවා. මේ වගේ මොළය මියගිය රෝගීන්ගෙන් එවැනි අයවය දන්දීමෙන් බොහෝ රෝගීන් පිරිසකගේ ජීවිතය බේරාගන්නට පුළුවන්...”
නොසිතූ නොපැතූ වෙලාවක සිදුවූ රිය අනතුරින් සමීරත්, තිළිණිත් ජීවිතක්ෂයට පත්වූහ. සමීරගේ දෙඇසෙන් අනාගතයේදී කෙනෙකු ලෝකය දකීවි. තිළිණි දායාද කළ මිල කළ නොහැකි තිළිණයන්ගෙන් මේ රටේ මරණය පෙනි පෙනී ජීවත්වන රෝගීන් කීප දෙනෙකුට නැවතත් අලුත් ජීවිත ලැබේවි. අවුරුදු විසි හතරක් වයසැති තිළිණි රිය අනතුරට ලක්වනතුරුම ඉතා නිරෝගිමත් කාන්තාවකි. එමෙන්ම ඇයගේ අවයවද ඉතා නිරෝගී වූවාට කිසිදු සැකයක් නැත. පුංචි දෝණිට තාත්තා අහිමි විය. අම්මාද අහිමි විය. නමුත් අම්මාගේ හද ගැස්ම කවදා හෝ දවසක පුංචි දෝණිට අහන්නට ලැබේවි. ඒ සතුට අද නැතත් තේරෙන වයසකදී පුංචි දෝණි හඳුනා ගන්නවාට කිසිදු සැකයක් නැත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply