Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඔයා ඌව ගැන දන්නේ නැහැ කියලා ආපහු කියන එකක් නැහැ


ඌව,ලංකාවේ රණකාමීම පරපුරක් වාසය කල වර්තමානයේ ලංකාවේ සුන්දරම පළාත් වලින් එකක් විදියට ගන්නට පුළුවන් ප්‍රදේශයක්. මොණරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්ක දෙක එකතුව තැනී ඇති ඌව පළාත, පළාතක් ලෙස නම් කරන ලද්දේ 1896 දීයි.
අපි ඇත්තටම ඌව ගැන මොනවද දන්නේ? මේක මට ආපු ප්‍රශ්නයක්. අපි ඌවටම ආවේණික ජනවහරක් තියෙනවා කියලා දන්නවා. ඒ වගේම ලස්සන භූගෝලීය පිහිටිමකින් යුතුයි කියලා දන්නවා වුණාට, ඇත්තටම ඒ ගැන වැඩි විස්තර දන්නේ නැහැනේ අපි. ඉතින් අපේ අනිවා කියවන යාලුවන්ට මේ අපුරු පළාතේ වගතුග ගැන පුංචි පුංචි විස්තර ටිකක් කියන්න කියලා හිතුවේ මෙන්න මේ විදිහට.
මීට වඩා ඌව ගැන මෙතන නොකියවුණු මොනවා හරි විශේෂ දෙයක් එහෙම තියෙනවා නම් ඒවා පහතින් කොමෙන්ට් විදියට දැම්මට කිසිම දෙයක් අපි කියනවා එහෙම නෙවෙයි ඔන්න. 😉

1. දැන් කොහොමද ඒ පැත්ත එහෙම?
uva province
Source – daph.gov.lk, wikiwand.com
ඌව කියන්නේ අපේ ලංකාවේ මැද්දෑවට ටිකක් පහලට වෙන්න පිහිටලා තියෙන හරිම අපුරු භූමියක් කිව්වොත් තමා හරි. උක් සහ ඉරිඟු වගා බහුලව තිබෙන ඒ සමානවම වෙනත් එළවලු එහෙම බහුලව තියෙන වැලිමඩ පිහිටලා තිබෙන්නේත් මේ ඌවේම තමයි. වැල්ලවාය , හපුතලේ, බණ්ඩාරවෙල, හක්කල, ඔහිය, වගේ ප්‍රදේශ වලින් මායිම් වෙලා තිබෙන ඌව පළාත ඌව වෙල්ලස්සේ නමිනුත් හඳුන්වනවා. ඌව කොතරම් සුන්දර සහ සශ්‍රීක ප්‍රදේශයක්ද යත්, ඉංග්‍රීසීන් මේ ප්‍රදේශය ආදම්ගේ උයන නමින් හැඳින්වූ බවටත් පැවසෙනවා.

2. කොහොමද ඌවට ඒ  නම හැදුනේ?
uva province
Source – hotelheavensedge.com
ඌව පළාත කියන්නේ අති විශාල කඳු එහෙම තියෙන පළාතක්නේ. ඉතින් ඒ කඳු අතරින් සුළං ධාරා හමාගෙන එනකොට “හූ” හඬක් නැගීම නිසා හූව එහෙමත් නැතිනම් ඌව කියලා මෙම හූ හඬින් සුළං ඇදෙන අපූරු ප්‍රදේශය හඳුන්වලා තිබෙනවා. ඉතින් කල් යනකොට මොන නමත් වෙනස් වෙන නිසා “හූව” ඌව විදියට පෙරළුනා කියලයි ජනවහරේ දැක්වෙන්නේ.

3. වෙල්ලස්සේ කියන්නේ ඇයි?
uva province
Source – wikimedia.org
වෙල්ලස්ස ගැන පරණම සටහන් කිරීම අපට හමුවෙන්නේ මහාවංශයෙන්. ඒ 60 වන පරිච්ඡේදයේ සටහන් වෙලා තිබෙන මහා විජයබාහු රජතුමා කල පුණ්‍යකර්ම ගැන කියවෙන කොටසෙයි. ප්‍රමාණාත්මකව වර්ග සැතපුම් 3000කට මඳක් වැඩි වපසරියකින් යුතු වෙන ඌව පළාත අනෙක් පළාත්වලට සාපේක්ෂව සරුසාර බිමක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි.
ගල් ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ වගේ ජල මුලාශ්‍ර වලින් පෝෂණය වෙන වෙල්ලස්සට ඒ නම ලැබෙන්නටත් මේ ජල මූලයන් සම්බන්ධයි. අතීතයේ සිටම ගංගා සහ ඔය පහරවල් හරස් කර අමුණු බැඳ ඒ ජලයෙන් කුඹුරු අස්වැද්දීම හේතු කර ගෙන ඌවේ විශාල වෙල්යායවල් අපට තවමත් දකින්නට හැකියි. ඉතින් මේ විදියට වෙල් ලක්ෂයක් කියන අදහසින් “වෙල්ලස්ස” කියන නම ඇතිවුණු බවයි ඉතිහාසඥයින් පවසන්නේ.





4. වෙල්ලස්සේ කැරැල්ල
uva province
Source – youtube.com/Saman Lenin – Kanda Udarata (1818 – Wellassa Karalla)
වෙල්ලස්ස ගැන කියනකොට වෙල්ලස්ස නම ඈඳීලා තියෙන කැරැල්ල ගැන නොකියම බැහැ නෙව. 1815 ඉංග්‍රීසින් එක්ක අත්සන් කරපු ගිවිසුමේ තියෙන හැටියට බුදු දහම සහ පූජ්‍ය පක්ෂයට ලැබිය යුතු රැකවරණය සහ ආරක්ෂාව සුදු ජාතිකයින්ගෙන් ඒ පාර්ශව වලට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ ජනතාවගේ විරෝධතාව මධ්‍යයේ ඔවුන්ව කතෝලික භක්තිකයින් කරගැනීමයි. ඒ කාලෙත් තාන්න මාන්න වලට වහ වැටිලා කතෝලික ආගම වැළඳ ගත්තු අය හිටියා. එහෙත් බහුතරය එහෙම වුනේ නැහැ.
උඩරට අල්ලගන්න ඉංග්‍රීසින්ට කල උපකාර නිසා තමන්ට රජකම දෙනු ඇතැයි ඇහැලේපොල අදිකාරම් බලාපොරොත්තු වුනත් ඔහු හට උඩරට රජකම ඉංග්‍රීසින් දුන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් බලතල තාන්න මාන්න දුන්නත් ඒවා නොව තමන්ට උවමනා කරන්නේ රජකම පමණක් ම බව අදිකාරම් විසින් ආණ්ඩුකාරවරයාට දන්වා යැවුවා.
ඉංග්‍රීසින්ගෙන් උඩරට රදළ නායකයින් හට ලබාදෙන ගරු සැලකිලි එන්න එන්නම අඩුවෙන බව දැනෙන්නට ගන්නකොට ඉංග්‍රීසින් ගැන ඇතිවන කෝපය තවත් වැඩිවෙන්න ගත්තා. මේ තරහාව ඉහවහා ගියේ මඩිහේ ලේකම් සහ මඩිහේ මුහන්දිරම් විදියට හජ්ජි මරික්කාර් නැමැති මුස්ලිම් ජාතිකයෙක් පත් කිරීමෙන්.
මේ අතරේ දොරේසාමි අල්ලන්නට හජ්ජි මරික්කාර් ඇතුළු සේනාව ගොස් වූ පරාජයත්, ගරිල්ලා සටන් ක්‍රම භාවිතා කරමින් රටේ තැනින් තැන ඇතිවූ යුද්ධත් නිසා ඉංග්‍රීසින් ගේ බලය සැහෙන දුරකට අඩුවුනා. පසුව සිංහලයින් හට ඉංග්‍රීසින්ගෙන් නිදහස් වන්නට ඇති වුවමනාව නිසා තවත් දරුණු ලෙස සටන් වදින්නට වීම නිසා මෙය කැරැල්ලකට වඩා නිදහස් සටනක මුහුණුවරක් ගත් බව සඳහන් වෙනවා.

5. ඌවේ ගැමිවහර
uva province
Source – absolutesrilankansafari.com
අපි හැඳින්වීමෙත් කිව්වා ඌව වෙනස් වෙන්නේ ඉතිහාසය සහ භූගෝලීය පිහිටීමෙන් විතරක් නෙවෙයි. භාෂාව අතිනුත් ඌව හරි වෙනස්. එක්තරා ආකාරයක වෙනස්ම වචන එකතුවක් තිබෙන මේ අපුරු පළාතේ පහතින් තිබෙන වචන ඉඳලා හිටලා තවමත් අහන්නට පුළුවන්.
කනත්ත ඉවලා – බාගෙට කැලේ වැවිලා
හාකොයි – පුළුවනි
ගහම්මනවා – අහක දමනවා
රහුගෙඩි – මිණිගෙඩි
බොටා – යහළුවා
මකරට හිරිම්බනවා – බඩට කනවා
කටනැගුනා – ගියා
කම්බුස්‌සාවෙන්න – ඇස් ‌රතු වෙන්න
ලබ්බලා – කිට්‌ටුකරලා
පනන් වෙනවා – යනවා
හෝටුපුරුල්ලන් ගැහිලා – හොඳටම තෙමිලා
මොටා – ලොකුඑකා
උඩන් ගහනවා – නොන්ඩි ගහනවා
රොක්‌වුණා – අමාරුවෙන් ගියා
තව් ගහනවා – බාගෙට පුළුස්‌සනවා
මෝප කරනවා – වරිච්චි බඳිනවා

6. ආකර්ශනීය ස්ථාන
uva province
Source – commons.wikimedia.org
බොහොම සුන්දර ආකර්ශනිය ස්ථාන වලින් සමන්විත ඌව පළාත අපි පෙර කිව්ව විදියට ජල මූලාශ්‍ර වලින් අනූණයි. වනසතුන්ගෙන් පිරී ඇති වනෝද්‍යාන වලින් යුක්තයි. ඇත්තටම ඌවේ ජීවත් වන්නන් එක්තරා ආකාරයකට බොහොම වාසනාවන්තයි කියලා කියන්නත් පුළුවන්.
ඌව පළාතේ පවතින දිය ඇළි අතර දුන්හි‍ද , දියලුම, රාවණා කියන දිය ඇළි ප්‍රමුඛ වෙනවා. වනෝද්‍යාන විදියට ඌවට මායිම් වෙලා තියේන්නේ යාල සහ ගල්ඔය ජාතික වන උද්‍යානය තමයි. ඒවාට අමතර ව ගංගා විදියට මහවැලි සහ මැණික් ගඟ ගලා බසිනවා. සේනානායක සමුද්‍රය සහ මාදුරු ඔය ජලාශය ඌවේ පිහිටලා තියෙන ජලාශ විදියට හඳුන්වා දෙන්න පුළුවන්.

7. බෞද්ධ සිද්ධස්ථාන
uva province
Source – flickr.com/lakpura, wikipedia.org
අපි සොළොස්මස්ථාන වන්දනා කරනවානේ. ඒ ගැන වාදයක් නැහැ. ඒත් කවුද හිතන්නේ බුදුන් වහන්සේගේ පාද ස්පර්ෂය ලැබූ සොලොස්මස්ථාන අතරින් ස්ථාන තුනක්ම පිහිටලා තියෙන්නේ ඌවේ කියලා. මහියංගණය, මුතියංගණය, කතරගම කිරි වෙහෙර කියන මේ පුදබිම් තුනම පිහිටලා තියෙන්නේ මේ සුන්දර පළාත තුළම තමයි.
ඊට අමතරව ඌව පළාතේ මේ ඉහතින් කියාපු පුදබිම් තුනට අමතරව යුදඟනාව, දෙමටමල් විහාරය, දෝව රජමහ විහාරය, මාලිගාවිල බුදු පිළිමය, රුහුණු කතරගම දේවාලය, පොතුබද්දන විහාරය වගේ විහාරාරාම සහ දේවාල විශාල ගණනක්ම පිහිටලා තියනවා.

8. ඌවේ කුඩා මොහොට්ටාල
uva province
Source – divaina.com
කතාවෙන් කතාවෙන් අපි ලිපිය අවසානයටම ඇවිත්. මේ ලිපිය නවත්වන්නට කලින් ඌව හොල්ලපු තවත් එක පුද්ගලයෙක් ගැනත් පුංචි සටහනක් එකතු කරන්නට අපි හිතුවා. ඒ තමයි ඌවේ කුඩා මොහොට්ටාල.
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධ වෙලා තිබ්බ කාලයක ඌවේ දී මෙලොවට උපත ලබපු ඌවේ කුඩා මොහොට්ටාල තමන්ගේ නිසි වයස එළඹෙනකොට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ අනෙකුත් කලා නිර්මාණ සඳහා සමාජය ඇතුලේ නමක් හදාගෙන සිටියා. දෙවන රාජසිංහ රජතුමාගේ සමකාලීනයෙක් වෙන මොහොට්ටාලගේ දක්ෂකම නිසාම විවිධ සාහිත්‍යමය නිර්මාණ රාශියක් ලංකාවට තිලිණ කරලා තිබෙනවා.
ඒ වගේම මන්ත්‍ර ශාස්ත්‍රයේ නිපුණයෙක් වූ කුඩා මොහොට්ටාලගේ  මරණයත් අකාලයේ සිදුවන්නේ එයට බහිරව අවතාරයක් සම්බන්ධ වීමෙන්.

කුඩා මොහොට්‌ටාල දිනපතා රාජ්‍ය සේවය සඳහා රජවාසලට යැම සිරිතක්‌ විය. රජවාසල දොරටුව අසල අඹ ගසක්‌ වෙයි. දිනක්‌ මොහොට්‌ටාල වාසලට යන විට අඹ ගසෙහි කොල්ලෙකු සිටිනු දැක තිබේ. කොලුවා මොහොට්‌ටාලට විසිළු කරනු ඔහුට පෙනිණි. කොලුවා උඩ සිටියදී අඹ අත්ත යටින් යැම තමාට තරම් නොවන බැවින් බසින ලෙසට අණ කළේය. නොබැසි කොලුවා තවත් විසුළු කරන්නට විය.
මෙය සිදුවිය නොහැක්‌කක්‌ ලෙස සිතූ මොහොට්‌ටාල ගසෙහි සිටි කොලුවා අමනුෂ්‍යයකු බව තීරණය කළේය. ඒ බහිරවයා බව ඔහුට අවබෝධ විය. රජවාසලට නොගොස්‌ හැරී ආ මොහොට්‌ටාල බහිරවයා බැඳලීම සඳහා බහිරව බන්ධනය ජප කළේය. ඉන් බහිරවයා තැතිගෙන වෙවුලා ඇතුළත මහා ගින්නකින් දැවෙන්නා සේ වේදනා දෙන්නට විය. බහිරවයා හඬාගෙන සතරවරම් දෙවිවරුන් සොයා ගොස්‌ විස්‌තරය කීවේය. එහෙත් මොහොට්‌ටාලගේ නියෝගයක්‌ නිසා දෙවිවරුන්ගෙන් පිළිසරණක්‌ නොවීය. එහෙත් විභීෂණ උපදෙසක්‌ දුන්නේය. එනම් රාජසිංහ රජු හමුවී උවදුරින් මුදා ගන්නා ලෙස අයෑදුමයි. බහිරවයා රජු හමුවී සියල්ල පවසා සිටියේය. රජු මොහොට්‌ටාල බහිරව බන්ධනය ඉවත් කර බහිරවයා මුදාහැරියේය. ඉන් පසු ඔහු සිය නිවස බලා යැමට පිටත්විය. බන්ධනයෙන් මිදී තරහෙන් පුපුරමින් බහිරවයා මග රැක සිටියේය. තමන්ට කළ විනයෙන් පළිගැනීමට සිතූ ඔහු මොහොට්‌ටාලගේ හිසට ගලකින් දමා ගැසුවේය. එම ගල් පහරින් මොහොට්‌ටාල මරුමුවට පත්විය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply