ශ්රී ලංකා ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම අනතුරක් ලෙස සැළකෙන අහුන්ගල්ල දුම්රිය අනතුර සිදුවී අදට වසර 29 ක් සපිරෙනවා.අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ.
එහිදී පාසල් සිසු සිසුවියන් 38 දෙනෙකු ඇතුලූ 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.තවත් 75ක් බරපතළ තුවාල ලබා දිවි බේරාගන්නට සමත් වූ අතර ඔවුන්ගෙන් 62ක් පාසල් දරුවන්.
මෙම අනතුර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී සිදුවූ බැවින් උණ බම්බු ගේට්ටු ක්රමය ස්ථාපිත වී ඇත්තේද මෙම මාරක අනතුරත් සමඟයි.
1989 වසරේ ජනවාරි 17 වනදා මෙම අනතුර සිදුවුණා.ශ්රී ලාංකේය ඉතිහාසය තුල බිහිසුණුම මෙම දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 දා අහුන්ගල්ලේදියි.
ඉතිහාසයේ කුමන හෝ වර්ගයක වාහනයක් දුම්රියක ගැටීමෙන් වැඩිම පිරිසක් මියගියේ මෙම අනතුරින් බවටයි වාර්තා වන්නේ.
එකල අහුන්ගල්ල ඌරගහ මාර්ගයේ ධාවනය වූයේ මෙම බස්රථය පමණයි.වර්තමානයේ මෙන් එදා පෞද්ගලික බස්රථ මෙම මාර්ගයේ ධාවනය නොවූ අතර පොල්අතුපළාත, ලෑලිහේත්තුව, කටුවිල, නෙල්ලිගොඩ, ගල්වෙහෙර, වැලිකන්ද, බෝගහපිටිය, මරදාන ආදී ප්රදේශ රැසක පාසැල් සිසු සිසුවියන් අම්බලන්ගොඩ, බළපිටිය, අහුන්ගල්ල ප්රදේශයන්හි පාසැල් වෙත පැමිණියේද මෙම බස් රථයෙන්.
එදා අහුන්ගල්ල හා අවට ගම්මානයන් එකම මලගෙයක් බවට පත්ව තිබුණා.දෙන්නා තුන්දෙනා මෙන්ම සිව්දෙනා ආදී වශයෙන් එකට වලදැමූ සොහොන්ද තිබුණා.
මෙම දුම්රිය හරස් මාර්ගය අසල දුම්ර්ය මාර්ගය ආසන්නයට වන්නම ගොඩනැගිලි ඉදිකර තිබීම හේතුවෙන් දුම්රියේ පැමිණීම දැකගන්නට ලැබෙන්නේ දුම්රිය මාර්ගය අසලටම පැමිණි පසුවයි.
අහුන්ගල්ලේදී දුම්රියක පැමිණීම බොහෝ වාහන හිමියන්ට එකල දැනුම් දුන්නේ අසල්වැසී කාන්තාවක් විසින්.
මෙදිනද එම කාන්තාව අත් ඔසවා කෑගසමින් ඒ බව දැනුම් දුන්නත් බස්රථයේ රියදුරා බස්රථය නතර කළේ දුම්රිය මාර්ගය මතටම බස්රථය ගෙන ඒමෙන් පසුවයි.
දුම්රිය දැකීමෙන් බියට පත්වීම මත බස්රිය දුම්රිය මාර්ගය උඩ තිබියදීම බස්රථයේ එන්ජිම නතර වී තිබුණා.
මෙම දුම්රියේ රියදුරු ලෙස කටයුතු කරමින් සිටියේ 1980 පෙබරවාරි 08 දින පුහුණු වන දුම්රිය රියදුරෙකු ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වූ බළපිටියේ ඒ ආර් ද සිල්වා මහතායි.
ඔහු 1985 වසරේ බලවේග කට්ටල දුම්රිය රියදුරෙකු ලෙස පත්වීම් ලැබ වසර 02 ක් කොළඹ බලවේග ධාවනාගාරයේ සේවය කර 1987 දී ස්ථානමාරුවක් ලබා ගාල්ල ධාවනාගාරයට අනියුක්තව සේවය කරමින් සිට තිබෙනවා.
අළුත්ගමින් ගාල්ල දක්වා ගමන් ආරම්භ කල දුම්රිය ප.ව 2.25 ට කොස්ගොඩ දුම්රිය නැවතුම් පොළේ නවතා 2.30 වන විට අහුන්ගල්ල දුම්රිය නැවතුම් පොළට ලගා වෙමින් තිබූ බවත් එක්වරම දුම්රිය මාර්ගයට ප්රවිශ්ඨ වූ බස්රිය හා දුම්රිය අතර දුර, ඉතා අඩු වූ හෙයින් කිසිවක් කරකියා ගන්නට නොහැකි වූ බවත් ඒ ආර් ද සිල්වා මහතා සිද්ධිය විමර්ශණය කල ඒක පුද්ගල කොමිසම හමුවේ පසුව ප්රකාශ කර තිබුණා.
දුම්රියේ මැද වැදුන බස්රිය දෙකට කැඞීගිය බවත් සිසුන් රේල්පාර මැදට වැටීමෙන් දුම්රියට හසුවූ බවත් ඔහු එහිදී ප්රකාශ කර තිබුණා.
No comments: