Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » 2017 වසරේ ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයට එක් වූ අලුත් වචනය


ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂය එළිදැක්වූ 2017 වසරේ අලූත්ම වචනය 'Youth quake' යන්නය. එහි තේරුම තරුණයන්ගේ කි‍්‍රයාකාරකම් හෝ ඔවුන්ගේ මැදිහත්වීම් පදනම් කරගෙන ඇතිවන සංස්කෘතික දේශපාලන හෝ සමාජමය වෙනස්කම්ය. මෙම වදන ගැන අවධානය යොමු කිරීම ලංකාවට ඉතා වැදගත්ය.


ලංකාවේ තරුණයන්ගේ ක‍්‍රියාකාරකම් කෙබඳුද? ඔවුන්ගේ වැඩකටයුතු පදනම් කරගෙන ඇති වූ සංස්කෘතික දේශපාලන හෝ සමාජමය වෙනස්කම් කවරේද? මෙය බරපතළ ප‍්‍රශ්නයක් සේම බරපතළ ලෙස සිතිය යුතු කාරණයකි. විශේෂයෙන්ම 2025 වනවිට ලංකාවේ මහලූ ජනගහනය සමස්ත ජනගහනයෙන් ඉතා ඉහළ ප‍්‍රතිශතයක් ගන්නා විට තරුණ ජනයාගේ කි‍්‍රයාකාරකම් මෙන්ම ඔවුන්ගේ මැදිහත්වීම් නිසා සමාජය තුළ සිදුවන වෙනස ලංකාවේ සමාජය ප‍්‍රබෝධමත් මාවතකට යොමු කරන සුළු විය යුතුය. නූතන තරුණයා වෙතින් එය සිදුවන්නේද? එසේ සිදු නොවේ නම් ඒ මන්ද?
තරුණයා හිතන විදිය
නූතන තරුණයා නියෝජනය කරන තැනක් නැති එක කැපී පෙනන කාරණයකි. තැනක් යන්නෙන් ගුරුකුලයක් පක්ෂයක් හෝ මතවාදයක් නියෝජනය කිරීම දැක්විය හැකිය. තරුණයා එම අර්ථයෙන් නැනක් නියෝජනය නොකිරීමට හේතු කිහිපයක් ඇත. එකක් වන්නේ ගුරුකුලය යන්නෙහි කෝෂාර්ථයට ඇත්ත ශාස්ත‍්‍රීය වටිනාකමක් නොමැතිවීමය. ගුරුකුල නියෝජනය කළ නියම ශාස්ත‍්‍රවන්තයන්ගේ වියෝවෙන් පසු ඒ ඒ තැන්වලට පත්වූවෝ ශාස්ත‍්‍රානුකූල වීමට වඩා ඉන් පරිබාහිර සින්තටික් ලෝකයක් හදාගැනීමට යන්ත දැරීම නිසා අනුගාමිකයෝ කෙමෙන් දුරස් වූහ. අනෙක් අතට ලංකාවේ සමාජ ව්‍යාපාර මිශ‍්‍ර ධනවාදය තුළ දියවී යාම නිසා දේශපාලන ව්‍යාපාර සහ පක්ෂ පිළිබඳ විශ්වාසය කෙමෙන් ජනයාගෙන් ගිලිහුණි.
ඊළඟට මතවාදය යන්න දිගින් දිගටම නඩත්තු කිරීමට කිසියම් ප‍්‍රමාණයකට හෝ සක‍්‍රිය දේශපාලනයක් අවශ්‍යය. මතවාදයක් කවන්ධයක් තුළ අභ්‍යාස කළ නොහැකිවා සේම මතවාදයක් අර්ධ ලිබරල්වාදී අස්ථානයක් තුළ ද අභ්‍යාස නොකළ හැකිය. ඒවාට විකල්පයක් ලෙස තිබුණු ජ.වි.පෙ දෙපා පොළොවේ තබන්නේ කොතැනද යන්න තවමත් සොයමින් සිටින පක්ෂයක් නිසා හා ඊට කල්ගතවීම වැඩි නිසා තරුණයෝ ශීඝ‍්‍රයෙන් ඉන් විතැන් වූහ. මේ තත්ත්වය තුළ අදවන විට තරුණයා නියෝජනය කරන තැනක් දක්නට නොලැබෙයි.
විෂය නියෝජනය කරනවාද
මෙම අවිශ්වාස සහගත තත්ත්වය තුළ තරුණයා කළ යුතු දේ විෂය නියෝජනය කිරීමය. පත්තරකාරයා වෙන කිසිවක්ම නොව තම විෂය නියෝජනය කළ යුතුය. ගුරුවරයා ගුරු භූමිකාව ද, ගණිත මහාචාර්යවරයා ගණිතය විෂය ද නියෝජනය කළ යුතුය. අනෙක් අතට ඉන් අදහස් වන්නේ පත්තරකාරයා දේශපාලනඥයකුගේ ඇම්බැට්ටයකු නොවිය යුතු බවය. කලාකාරයා හමුදාවේ චිත්ත ධෛර්යය නංවනවා වැනි මොට්ට වැඩ නොකළ යුතු බවය. මේසන් බාස්, ලයිට් බාස් සහ පයිප්ප බාස් ඒ වැඬේ විතරක් හරියට කරන සහ මහාචාර්යවරයා දේශපාලඥයන්ට ප‍්‍රශස්ති නොලියා ඉගැන්වීම් සහ පර්යේෂණ කරනවා නම් නිතැතින්ම ඒ සියල්ලන් වෙතින් විෂය නියෝජනය වෙයි. ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයේ අලූත් වචනයට නියම අදහසක් ලබා දිය හැක්කේ ද නූතන තරුණ පරපුර තම කාර්ය කිරීමේ දී විෂය නියෝජනය කිරීම යන්න ගැන අවධානය යොමු කරනවා නම් පමණි. තව තමාගේ විෂය තුළ රැඳෙමින් ඊට අදාළ කටයුතු කරන විට පළමුව විෂය දියුණු තියුණු වෙයි. මුළු රටේම තරුණ ජනයා එම හැඟීම පෙරදැරිව කි‍්‍රයාකරන විට සංස්කෘතික දේශපාලන සහ සමාජ වෙනසකට මෙන්ම රටේ ආර්ථික පදනමට සරු බිම සැකසෙයි.
පළාත් පාලන ඡන්දය
මෙවර පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ප‍්‍රධාන පක්ෂවල නාමයෝජනා ලැයිස්තුවලට විවිධ සමාජ විරෝධී කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලද පිරිස්  ඇතුළත්ව සිටින බවට පැෆරල් සංවිධානය කියා තිබුණි. එහි ඉලක්කය මහජන නියෝජිතයකු වීම මඟින් තම දූෂිත භාවිතයට ආවරණයක් සපයා ගැනීමය. රටෙහි ඇතිව තිබෙන්නේ තිබුණාටත් වඩා කුණු වූ සහ තුච්ඡතත්වයක්  මෙතැන් සිට ලංකාව ගැන කතා කරන්නට දෙයක් ඉතුරු නොවනු ඇත. මිනිසුන්ගේ පුද්ගලික ගතිගුණ දවසෙන් දෙකෙන් අවබෝධකරගත නොහැකිය. එහෙත් ඡුන්දක‍්‍රමය කොට්ඨාස ක‍්‍රමය දක්වා වෙනස් කර ප‍්‍රදේශය ඉලක්ක කරගෙන මහජන නියෝජිතයා තෝරා පත්කර ගත හැකි ක‍්‍රමයක් තිබිය දී කොට්ඨාසවලට සැබෑ මහජන නියෝජිතයන් බවට පත්විය හැකි පුද්ගලයන් පත්කිරීම පක්ෂවල වගකීමකි. සමානුපාතික ක‍්‍රමයේ දී ඡන්ද ජයගත හැකි වූයේ ධනය ඇති අපේක්ෂකයන්ට නිසා එහි දී ධනය ලැබුණේ කෙසේද නැතහොත් ධනය හරි හම්බ කළේ කෙසේද යන්න නොසොයා ධනවතුන් අපේක්ෂකයන් ලෙස පත් කෙරිණි.
එහෙත් නව මැතිවරණ ක‍්‍රමය තුළ ජනයාගේ ප‍්‍රසාදයට පත් පුද්ගලයකුට කොට්ඨාසයක් තුළ ඡන්දය කරන්නට අවශ්‍ය මූලික සාධකය මුදල් නොවේ. එබැවින් සමාජ විරෝධී කටයුතුවලට චෝදනා ලද පිරිස් පැත්තකට කර තැබීමට පක්ෂවලට හැකියාව තිබුණි. පළාත් පාලන නියෝජිතයන් අටදහස් තුන්සිය ගණනෙන් මෙවැනි පිරිස දෙදහසක් පත්වුවත් පළාත් පාලන විෂය අර්ථවත් කර ගැනීම අර්බුද යට යයි. පළාත් පාලනයේ අරමුණ ගම නඟා සිටු වීමය. පක්ෂවලට අන්තර් ග‍්‍රහණය වූ දූෂිතයන් එන්නේ ගම නගා සිටුවීමට ද තම තමා නැගී සිටීමට ද යන ප‍්‍රශ්නය ප‍්‍රධාන පක්ෂ දෙකෙහි නායකයන් කල්පනාවට ගත යුතුය.
ආදර්ශය උඩින්  ඕනෑ
කැපී පෙනෙන ඇමතිවරුන්ට කැපී පෙනෙන චෝදනා තිබේ. ගෝලයා ආදර්ශයට ගන්නේ කැපී පෙනෙන ගරා බැවින් ගෝලයන්ට කෙලින් යන ලෙස කීමට කැපී පෙනෙන ඇමතිවරු අසමත්ව සිටිති. වචනයෙන් පාරිශුද්ධ වන ලෙස පොදු අදහසක් හැටියට කීමට පුළුවන. එහෙත් කිසිවකුටත් ඇඟිල්ල දිගු කරන්නට කැපී පෙනෙන ඇමතිවරුන්ට නොහැකිය. අද වන විට කොහොමත් දේශපාලනය රැකියාවක් බවට පත්ව තිබේ. දේශපාලනය යන්න මහන්සි වී කරන මහජන සේවාවන් බවට පත් විය යුතුය. එවැනි යුගයක් තිබුණි. එම යුගය අවසන් කර දැන් අප පැමිණ සිටින්නේ දේශපාලනය බඩ රස්සාවට වඩා හුඟාක් දුර ගෙන ගිය යුගයකටය. ජනයා ඒ දෙස බලා සිට දේශපාලකයාට පල් හොරා කියන යුගයටය. දේශපාලනයෙන් කිසිම වරප‍්‍රසාදයක් දෙන්නේ නැත. ලැබෙන්නේ පොඩි වැටුපක් පමණක් බවට නීතියක් සම්ප‍්‍රදායක් සකස් කළහොත් දැනට දේශපාලනයෙන් නිරත 75% ක්ම ඉල්ලා අස් වී වෙනත් රැකියා සොයා යනු ඇත. එවිට ඒ වැඬේ කිරීමට සිදු වන්නේ ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තොරව මහජන සේවය කරන්නට කැමති පිරිසකටය. ප‍්‍රාඩෝවෙන් ඉන්ටකූලරයෙන් දැනටම ප‍්‍රාදේශීය ඡන්ද ව්‍යාපාරය පටන් ගෙන ඇති මිනිහා ඡන්දයෙන් පසු ඉලක්ක කරනු ඇත්තේ ඊටත් වඩා ඉහළ පන්නයේ දිවියක් ගෙවීමට මිස ප‍්‍රාඩෝවෙන් ඉන්ටකූලරයෙන් බිමට බැස මහජන සේවය සඳහා මරුටියෙන් යාමට නොවේ. දේශපාලනඥයන් හිඟන්නන් බවට පත් කළ යුතු නැත. එහෙත් ඔවුන් මහා ධනවතුන් බවට පත් කරන ඇලඩින්ගේ පුදුම පහනේ දේශපාලනය අහෝසි කර දැමීම කාගේත් වගකීමකි.
එකමුතු ති‍්‍රරෝද රථ සංගමය
තාරුණ්‍යයෝ කළ යුත්තේ කුමක්ද යන්න ගැන ඉහළ ආදර්ශයක් දෙන සිදුවීමක් පසුගිය දා වාර්තා විය. එය නම් රද්දොළුගම එකමුතු ති‍්‍රරෝද රථ සංගමය වාර්ෂිකව පවත්වන පොසොන් බත් දන්සල නවත්වා එම මුදල්වලින් නාය යෑමෙන් විපතට පත් වූ පවුලකට නිවසක් ඉදිකර දීමය. ත‍්‍රිරෝද රථ සංගම් හැම ත‍්‍රිවිලර් අංගනයකටම බුදු පිළිම හදන රටේ රද්දොළුගම එකමුතු ති‍්‍රරෝද රථ සංගමයේ තරුණ පිරිස රටට දී ආදර්ශය අති මහත්ය. කි‍්‍රයාවෙන් බෞද්ධ විය හැක්කේ බුදු පිළිම හැදීමෙන් නොව මිනිසාට සේවය කිරීමෙනි. මෙම තරුණයන්ගේ සේවය රටට පළදායී ලෙස යොදා ගත හැකි තවත් ක‍්‍රමයක් තිබේ. එය නම් ඔවුන් තී‍්‍රවිලර් අංගනවල රස්තියාදු නොකර රටෙහි ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීමය. තරුණ ප‍්‍රජාවගේ කි‍්‍රයාකාරීත්වය රටේ වෙනසකට භාවිත කළ හැක්කේ එවැනි පියවරකිනි. එම තරුණයන්ට නියම ආර්ථික මාවත පෙන්වාදීමට වැඩපිළිවෙළක් රජයට තිබේ නම් ඔවුන්ට විපතට පත්වූවෙකුට නිවසක් ඉදිකර දීමටත් වඩා වැඩි සේවයක් ප‍්‍රජාව වෙනුවෙන් ඉටු කිරීමට හැකිවනු ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply